ITAK විපක්ෂ නායක ධූරය ඉල්ලයි

පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ප්‍රකාශනයන්ට අනුව විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට බව දෙමළ  ජාතික සන්ධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පෙන්වා දෙන්නේ තම පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය බවයි.
පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත් අතර දෙවනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය  වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කර ගත්තේය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකරන බව මේ වන විට නිවේදනය කර තිබේ.
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රජය දෙමළ ජනතාවට සමාන පුරවැසියන් සේ සලකන බවට පොදුවේ කැපවී තිබේ.
කෙසේ වෙතත් උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දයෙන්  තේරිපත් වූ  තමන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස පිළිගැනිමට  මැලිකමක් දක්වන්නේ නම් එම කැපවීමේ අවංක භාවය පිළිබඳ ගැටළු මතුවන බව  දෙමළ ජාතික සන්ධානය පවසයි.
මෙරට ජාතික ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිවරයා සහ රජය කැපවන්නේ නම්  ක්‍රියාවෙන් ද එය පෙන්නුම් කළ යුතු බව අවධාරණය කරන දෙමළ ජාතික සන්ධානය ජාතික ගැටළුව විසඳීම වෙනුවෙන් රජය සමග වැඩදායි ලෙස සම්බන්ධවී කැපවිමෙන් තම කාර්යභාරය ඉටු කරන බව ද ප්‍රකාශ කර තිබේ.

Comments

comments