මම කාවවත් ඉමිටේට් කළේ නැහැ….මම අමරසිරි කලංසූරිය….එච්චරයි

පාර හොයාගෙන එනු පිණිස ඔහුගේ ලිපිනය ඔහු අපට දුරකථනයෙන් පැවසීය. හාට්ලෑන්ඩ් – ඒකල – ජා ඇළ. එය කෙතරම් දෛවෝපගත ලිපිනයක්ද? මන්ද යත්, කොහොමත් ඔහු ඉන්නේ සිංහල සිනමා පේ‍්‍රක්ෂකයන්ගේ‘හාට් ලෑන්ඩ් එකේ’ය. එය ඔහුගේ ඇත්ත‘ඇඩ‍්‍රස්’ එකය.

වැදගත් ගමනක්කැන්සල්’ කරගෙන අප එනතුරු ඔහු හිටියත්කොළඹ සිට චාරිකා කළ අපේ ප‍්‍රමාදය විසින් ඔහුගේ සන්ධ්‍යාවෙන් පැයක් සොරාගනු ලැබ තිබිණ. ගෙමිදුලට පිවිසෙන්නට ගේට්ටුව විවර කරන විටප‍්‍රමාදයට දඬුවමක් හැටියට එක් බැල්මකින් අපට තරවටු කළත්සිය ගෙතුළට අප ඇතුළු වන්නටත් පෙර පීතෘ සිනහවකින් අපට සංග‍්‍රහ කොටගෙතුළට ගොඩ වූ පසු,ඒ සිනාවට ම ගැළපෙන ආදරණීය ස්වරයකින්ඉඳගන්නැයි ඔහු කීවේය. ව්‍යායාම සඳහා අඳින පන්නයේබොටම්’ වර්ගයේ කලිසමකින් සහ සාමාන්‍ය කමිසයකින් ඔහු සැරසී සිටියේය. ඔව්. ඔබ සිතුවා හරි. කමිසයේ උඩ බොත්තම් දමා තිබුණේ නැත. ඉතින් ඒ ඔහු ම බවට කිසිදු සැකයක් නැත.

ඔහු පැනවූ අසුනෙන් අප හිඳගත් සැණින්”පොඩ්ඩක් ඉන්නැ”යි කියා මඳක් ඔබ්බෙන් තිබූ තරප්පුව දිගේ ඔහු ඉහළට නැංගේ ඔහුට වඩා අවුරුදු තිහක් තිස්පහක් බාලයන් වූ අප පවා ලැජ්ජාවට පත්කරනසුලූ වේගයකිනි. එක්දහස් නවසිය හතළිහේ සැප්තැම්බර් විසි වන දා ඉපිද, පසු කලෙක සිංහල සිනමාවේ සදාකාලික යෞවනයා වූ ඔහු, තවමත් එදා මෙන් ම කලබල – හිතුවක්කාර‘පොඩි විජේ’ය කියා, ඒ වේගවත් යාම් ඊම් දුටු අපට සිතිණි. ඔහු රැගෙන ආවේ පින්තූර ඇල්බමයකි. ඇත්තටම කියනවානම් එය, ඔහු සමඟ කළ  පුවත්පත් සාකච්ඡා – ඔහු ගැන පළ වූ වාර්තා හා විචාර යනාදිය සමඟ වැදගත් පින්තූර රැසක් පිළිවෙළකට එකතු කර සංරක්ෂණය කරන ලද ඇල්බමයකි. එහි පිටුවෙන් පිටුව පෙරළමින් – සරල – එහෙත් අතීතය දෙසට නැමුණු මන්දස්මිතයකින් යුතුව ස්වකීය ජීවන මතක පොතේ පිටු ද අපට ද ඇසෙන සේ තැනින් තැනින් ගෙන, එකින් එක පෙරළන්නට පටන් ගත් හේ; අමරසිරි කලංසූරිය ය.

“ජීවිතයේ එක කාලයක නොවිඳිනා දුක් වින්දා. නංගිලා මල්ලිලා ජීවත් කරන්න ගස් නැග්ගා. දොදොල් පවා හැඳිගාලා තියෙනවා. මහියංගණේ ගිහින් එකයි හැත්තෑ පහේ පඩියට ගල් ඇද්දා. හමුදාවටත් ගියා. හැත්තෑ එකේ කැරැල්ල කාලේ මම උතුරේ ඩියුටි කළේ. තාත්තා ආවත් චෙක් කරන්න කියල ඉහළින්  ඕඩරේ ආව. මම හිටිය චෙක් පොයින්ට් එකට කාර් එකක් ආව. පොලිස් ලොක්කෙක් ඇවිත් තියෙන්නේ. අයිඩින්ටි කාඩ් එක ඉල්ලූවම, මම එස් පී කැන්ඩි – අයිඩින්ටි කාඩ් එක අමතක වුණා කිව්වා. මම යන්න දෙන්න බැහැ කිව්වම ගියොත් මොකද කරන්නෙ කියල ඇහුව. සර් අයි හෑව් ටු ඩූ මයි ජොබ් කියල තුවක්කුව ලෝඩ් කරගත්තා. ඊට පස්සේ මගේ කොල්ලො එයාව චෙක් කරලා නතින්ග් සර් කිව්වා. ඊට පස්සේ මම ගන් එක අන්ලෝඩ් කරලා ගිහින් සැලියුට් එකක් ගහලා කිව්වා, සර් අයි ඩිඩ් මයි ජොබ් කියලා. මේ සිද්ධියත් එක්ක මට ඇතුළෙනුත් ප‍්‍රශ්න ආවා. මගේ ම ලොක්කෙක් මාත් එක්ක රණ්ඩුවට ආවා. උඹ එළියට ගිය ගමන් උඹව පොලීසියෙන් මරනවා කියල කිව්වා. ඒ කතාවට මගේ ප‍්‍රතිචාරයත් එච්චර හොඳ වුණේ නැහැ. ලොකු සිද්ධියක් වෙන්න ගිහින් නූලෙන් නැවතුණා. මම ඩොකියුමන්ට් සයින් කරලා ආමි එකෙන් එළියට බැස්සා. පොඩි ගාණක් අතේ තිබ්බා. ඒකෙන් ඇඳුම් බිස්නස් එකක් පටන් ගත්තා. අවුරුද්දක් ඇතුළත නුවර ලොකුම ඇඳුම් ෂොප් එක මගේ. ඊළඟට කෑගල්ලෙත් එකක් දැම්මා. ඉතින් ඔන්න ඔය කියන කාලය වෙනකොට මම සිනමාවට ඇවිත් !”

AmarasiriKහන්තානේ කතාව ඔහුගේ සිනමා ජීවිත කතාවේ  මඟහැරිය නොහැකි කතාවකි. ඒ කතාවට ඇතුළු වුණ විදිහ සිහිනය පාඨකයන් වෙනුවෙන් ආයෙමත් සැරයක් මතක් කරමුදැයි අපි ඔහුගෙන් ඇසීමු.

“දවසක් මම මගේ ඇඳුම් බිස්නස් එකේ වැඩකට කෝච්චිය ගන්න ස්ටේෂන් එකක ඉන්නකොට සුගතපාල සෙනරත් යාපා තවත් මිත‍්‍රයෙක් එක්ක ඇවිත් මා එක්ක කතා කළා. මල්ලි, රඟපාන්න කැමති නැද්ද කියලා ඇහුවා. මම කිව්වා කලින් නම් රඟපාලා නැහැ කියලා. ආ ඒක වැඩිය හොඳයි කියල ඇඩ‍්‍රස් එක ඉල්ල ගත්තා. ටික දවසකින් ලියුමක් ආව චිත‍්‍රපටියක රඟපාන්න ඉන්ටවීව් එකට කොළඹ එන්න කියලා. මමත් ගියා. හාර පන්සීයක පෝලිමක් හිටියා. මම ගිහින් ඇහුවා – සර් මම නුවර ඉඳන් ආවේ? වුණොත් බස් නැති වෙනවා තව පරක්කු වෙනවද කියලා. ආ හරි මල්ලි එහෙනම් ගමු කියලා – අනෙක් අයටත් පොඩ්ඩක් ඉන්න කියලා මාව ඉන්ටවීව් කෙරුවා. මට කිව්වා දැන් ඔයා හිතාගන්න තමන්ගේ බිරිඳව මරලා මරණ දඬුවම නියම වෙලා උසාවියේ ඉන්නවා කියලා. උසාවිය ඔයාට අවසන් වශයෙන් යමක් කියන්න අවස්ථාව දෙනවා, අපි ඔයාට ඒක හදාගන්න විනාඩි දහයක් දෙන්නම් කිව්වා. මම බැලූව තවත් විනාඩි දහයක් පරක්කු වෙන්නෙ මොකටද – හරි සර් මම ලෑස්තියි දැන්මම ගමු කියලා කිව්වා. මම පෙරකදෝරුවන්ට කෝට් විකුණන්න උසාවි ගිහින් තිබ්බා. නඩුකාරයා ඉන්නේ ටිකක් උස තැනක බව මම දන්නවා. මම ඔළුව ටිකක් උස් කරලා ඉහළ තැනක් බලාගෙන මෙහෙම කිව්වා. ස්වාමීනි, උගත් නීතිඥ මහත්වරුනි, මහත්මියනි, මේ සේරට ම මුල එහා ගෙදර පර වේසි !, හරි හරි මල්ලි ඔය හොඳට ම ඇති – අපි ඔයාට ලියුමක් එවන්නම් කිව්වා. ඉතින් කොහොමහරි එදා ආව අයගෙන් නළුවන් හැටියට සිලෙක්ට් වුණේ මමයි විජය කුමාරතුංගයි විතරයි. හන්තානේ කතාවෙන් මුණගැහිච්ච ස්වර්ණා මල්ලවාරච්චි පස්සේ කාලෙක ප‍්‍රසිද්ධියේ කිව්වා ඈ දැක්ක හොඳ ම නළුවා අමරසිරි කලංසූරිය කියලා. ඒ ඇතිනෙ”

නිකම්ම නිකං නළුවකු හෝ නිළියක වනවාට වඩා කිසියම් සමාජ අවබෝධයක් සිනමාවට එකල අවැසි බව දැන් අපට වැටහෙයි. එහෙයින් ඒ කාලයේ නළු නිළියන් පොත පත කියෙව්වාද කියා දැනගන්නට අපට  ඕනෑ වූයේ වර්තමානයත් සමඟ නිරායාස සංසන්දනයකට සිත බල කරන බැවිනි.

“ඇයි නැත්තේ. රටේ තොටේ දේවල් ගැන හැමෝ ම වගේ හොඳ අවබෝධෙකින් හිටියේ. මිස්ට ගාමිණී ෆොන්සේකා හොඳට පොත පත ඇසුරු කරපු කෙනෙක්. අයිරාංගනී සේරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි මට මේ වෙලාවෙ මතක් වෙනවා. රවීගේ දැනුම අනුව ඔහු පොත පත කියෙව්වාය කියල මම හිතනවා. සිරිල් පොත පත කියෙව්වා. කොස්තා නම් පොත් කියෙව්වේ නෑ. හැබැයි එයා පොතක් වගේ මනුස්සයෙක්. නිතර දෙවේලේ පොත් නොකියෙව්වාට විජේ මහ පුදුම මනුස්සයෙක්. එයාට රජාත් එකයි හිඟන්නත් එකයි. ඒකයි එයාට හැමෝ ම ආදරේ. මා එක්ක ඉතා කිට්ටු මිත‍්‍රකමක් විජේට තිබ්බා. මගේ දුවට නම දැම්මෙත් එයා. දුව ඉපදුණාම විජේ ආවා බලන්න. මොකද්ද මේකිගෙ  නම කියලා ඇහුව. මම කිව්වා යකෝ  දරුවා ඉපදුණේ ඊයේ තාම නමක් නැහැ කියල. අකුර මොකද්ද ඇහුවා. ලායන්න කිව්වා ම ආ එහෙනං ලාලිත්‍යා කියලා දාපන් කිව්වා. විජේ කියෙව්ව පොත තමයි මනුස්සකම.”

Amarasiri 1විජයගේ ඝාතනය ඔබේ ජීවිතයටත් එක්තරා අයුරකින් බලපෑවා නේද?

“ඔව්. හෘදයාංගම මිත‍්‍රයෙක් අහිමි වීම තමයි ලොකුම දේ. එහෙව් මනුස්සකමක් මම දැකලා නැහැ. ඊළඟට, විජය ඝාතනය ගැන කතා කරන්න ගිහින් මගේ මුළු ජීවිතය ම අනෙක් පැත්තට හැරුණා. දිවයින පත්තරේ මගෙන් ඇහුවා, විජය කුමාරණතුංග ගේ මරණය ගැන ඔබේ අදහස මොකක්ද කියලා. මම කෙළින්ම කිව්වා රටේ නායකත්වය වගකියන්න  ඕනේ කියලා. මේ ප‍්‍රකාශයට එවකට රාජ්‍ය නායකයා ප‍්‍රකෝප වුණාය කියන ආරංචිය මට ආවා. සමහරු හරහා පණිවිඩ එව්වා පේ‍්‍රමදාස මහත්තයගෙන් සමාව ඉල්ලන්න කියලා. මම ඇහුවා මොකටද සමාව ඉල්ලන්නෙ කියලා. විජේ මගේ මිත‍්‍රයා. මම කතා කළේ ඔහු වෙනුවෙන්. මම සමාව ඉල්ලන්න ගියේ නැහැ. ආරක්ෂක අංශවල මගේ මිත‍්‍රයෝ පණිවිඩ එව්වා මචං උඹට ගහල දාන්න  ඕඩර් එක දීලා තියෙන්නෙ පරිස්සම් වෙයන් කියලා. අපේ ගේ ගාව කාර් ගිනි තිබ්බා. බස් ගිනි තිබ්බා. ලයිට් කණු කැඩුවා. ඒ සේරම මගේ අනුදැනුම ඇතුව මම කෙරෙව්වා කියලා රාවයක් යැව්වා. මාව මරන්නත් මරණය සාධාරණය කරන්නත් පස සකස් කළා. දවසක් මම නුවර ගෙදර ඉද්දි මහ රෑක සන්නද්ධ කණ්ඩායමක් ගේ වට කෙරුවා. ඔෆිසර් කෙනෙක් ඇවිත් දොර ඇරලා කිව්වා එළියට යමු කියලා. මම ඇහුවා ඇයි මොකටද කියලා. එතකොට කිව්වා ටිකක් කතා කරන්න කියලා. මම කිව්වා ගෙයි ඉඳන් කතා කරමු කියලා. ඊට පස්සේ කුස්සියේ බංකුවක වාඩි වෙලා ඒ ඔෆිසර් මාත් එක්ක කතා කළා. සර් අපි ප‍්‍රා එකෙන්. සර්ව මරන්න අපි ආවේ. ඒත් අපි සර්ව මරන්නෙ නැහැ. හෙට ම මෙහෙන් පිට වෙලා කොහෙහරි යන්න කිව්වා. ඊට පස්සෙ මට පොඩි කඩදාසි කෑල්ලක් පෙන්නුවා. ඒක මාව මරලා – මරපු තැන දාල යන්න ගෙනාව නෝටිස් එක.‘දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය’ කියලා ඒකෙ තිබ්බා. ජේවීපී එක පිටින් යන්න තමයි වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ. මම පහුවෙනිදම ඒ ගෙදරින් පිටත් වුණා.  සතියක් යන්න කලින් මම දුක් විඳලා හදාගත්ත ගේ ගිනිතියලා අළු කරලා දැම්මා. ඒ හැම දෙයක් ම සිද්ධ වෙනකොට හෙවණැල්ල වගේ මගේ ළඟ හිටියේ මගේ ආදර බිරිඳ. අදත් ඈ මවක් වගේ මා ළඟ ඉන්නවා.”

ඔහුගේ කටහඬ මඳක් පැටලිණි. දෑස කඳුළින් බර විණි. එහෙත් අධිෂ්ඨානයත් ආදරයත් වියැකී තිබුණේ නැත. ඒ කෙසේ වුව අපි මාතෘකාව මඳක් වෙනස් කළෙමු.

Amarasiri 2

ඔබ තරු සමඟ වගේ ම තරු නොවන තරු සමඟ එකට ගැටිලා වැඩ කරපු මිනිහෙක්. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික‍්‍රම, ටෝනි රණසිංහ, සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික‍්‍රමගේ, විමල් කුමාර ද කොස්තා වගේ ලෝක සිනමාවත් එක්ක කරට කර තියන්න පුළුවන් මිනිස්සු අතර වෘත්තීය අත්දැකීම මොන වගේද?

“ඒ කාලේ තිබ්බා සම්ප‍්‍රදායක්, ඇඳුමට තැන දෙන්නෙ නැහැ. රූපය වැදගත් නැහැ රංගනයට. මේකප් වැදගත් නැහැ රංගනයට. වැඩ තමයි වැදගත්. චරිතය තමයි වැදගත්. අපි වැඩේට අවංකව වැඩේ කරන්න නිතර ම වෑයම් කෙරුවා. රඟපානකොට එකිනෙකා අතර සුන්දර තරගයක් තිබ්බා. කවුරුත් කාටවත් සෙකන්ඩ් වෙන්න රඟපෑවේ නැහැ. හැමෝම තමන්ගෙ කොටස හරියට කෙරුවා. මම එක උදාහරණයක් කියන්නම්. පරිත්‍යාගය ෂූට් කරනකොට මම සෑහෙන කල් ගත්තා මගේ රංගනයට ප‍්‍රවේශ වෙන්න. කොතනින්ද මුල පුරන්නෙ කියල මම කල්පනා කළා. මම එච්. ඞී. ගෙන් මගේ චරිතය ගැන තව තවත් ඇහුවා. ෆුට් බයිසිකලයක් පැදගෙන ඇවිත් පෙම්වතිය මුණගැහෙන දර්ශනයක් තමයි මුලින්ම තියෙන්නේ. මම එතනින් පටන් ගත්තා. වේගෙන් බයිසිකලේ පැද්දා. අත ඇරලත් යනවා. ලොරියකත් එල්ලිලා බයිසිකලේ පදිනවා. කෙල්ල වසන්ති. කෙල්ල ගාවට ගිහින් සරාස් ගාලා බ්රේක් පාරක් ගහනවා. ඒ වෙනකොට මම මුළු චිත‍්‍රපටය ම මගේ ගාවට අරන් ඉවරයි. පරිත්‍යාගය කරගෙන යනකොට ටෝනි මට පොඩි චැලේන්ජ් එකක් කළා ඇක්ටින් ගැන. චිත‍්‍රපටය අවසන් වෙනකොට ටෝනි මා ළඟට ඇවිත් කිව්වා කලං යූ වොන් ද ගේම් කියලා. මගේ රංගනයේ රහස මේකයි. මම කාවවත් ඉමිටේට් කළේ නැහැ. මම අමරසිරි කලංසූරිය. එච්චරයි. යස ඉසුරු, පූජා, බමරු ඇවිත්, අහස් ගව්ව, අපේක්ෂා මේ කොයි එකකත් මම මගේ උපරිමය කළා.”

Kaln Kosthaතව බොහෝ දේ කතා කළ හැකිය. තව බොහෝ දේ කතා කළ යුතුය. සැබැවින් ම ඔබ දැන් කියවූයේ ද  අප කතා කළ දෙයින් අංශු මාත‍්‍රයක් පමණි. නත්තල මුවවිටේ තබාගත් සන්ධ්‍යාවක පැය දෙක තුනක්, ඊට වඩා බොහෝ සෙයින් වටිනා කතාබහක් වෙනුවෙන් අපි විය හියදම් කළෙමු. එහෙත් ආවොත් යන්න වෙයි. ගියොත් එන්නට පුළුවන. ඉක්මනට ගියොත් ඉක්මනට එන්නට හැකි යැයි සරච්චන්ද්‍රයන් කියා ඇත ද ප‍්‍රමාද වී පැමිණ ප‍්‍රමාද වී ආපසු පිටත්ව යන්නට සැරසෙන මොහොතේ, ඉක්මනින් එන අපේක්ෂාව සහිතව අවසන් ප‍්‍රශ්නය, අමරසිරි කලංසූරියට අපි යොමු කළෙමු.

ඔබට මුණගැසුණු දක්ෂතම නළුවා කවුද?

“කතා දෙකක් නැහැ. විමල් කුමාර ද කොස්තා. ඔහු තරම් ශ්‍රේෂ්ඨ නළුවෙක් මා දැක නැහැ. ඔහු තරම් අහිංසක මිනිහෙක් මා දැක නැහැ.”

ජීවිතය ද දවසක් වාගේ ම ය. උදෑසන මතකයන් සන්ධ්‍යාව හැඩ කරයි. ගෙයින් එළියට බට අපි,  සන්ධ්‍යා අහස යටට හිස නිරුවත් කළෙමු. ජා ඇළ ඒකල අහසේ සැන්දෑ වලාවන් නෙක වර්ණ රටා මවද්දී, ඒ කල මේ කල – යුග යුග – හද හද – ඇද බැඳගත් සිංහල සිනමා සිහිනයේ‘හාට් ලෑන්ඩ්’ එකේ, සදාකාලික තරුණයාට සමු දී අපි පිටත්ව ආවෙමු.

– විමල් කැටිපෙආරච්චි

Kalansuriya

mirrorarts

 

Related posts:

Comments

comments