සරසවි දිසාපාමොක්ලා පිළිබඳ කැත සත්‍ය නිරූපිත ගීතයක් -කපිල එම්. ගමගේ

සමාජයේ සියුම් තැන් නිරාවරණය කොට ඒවා පොදු සමාජයේ පුරවැසියාගේ ඇස ගැටෙන්නට සලස්වා ඒ පිළිබඳ සමාජ දේශපාලන අවබෝධය ලබාදීම කලාකරුවාගේ පුරවැසි වගකීම වේ. එම නිසා වඩාත් යහපත් මානව දිවියක් වෙනුවෙන් ඔහු සිය අකුරු, හැඩතල හා රේඛා, සංගීත ස්වරයන් පමණක් නොව සියලු කලා භාවිතාවන් දිශාගත කළයුතු වේ. සංගීතය යන මහා සංස්කෘතික කලා ශානරයේ උප ශානරයක් වන ගීතය මානව සිත ආමාන්ත්රණය කිරීමට සමත් ඉසියුම් කලාවකි. එය බොහෝ අවස්ථාවල සමාජයීය කාරණා පාදක කරගනිමින් පොදු රසිකයා ඥාණනය කරණ ආකාරය අප දැක ඇත.  ලොව පුරා මෙය මේ ආකාරයෙන් සිදුවන අතර මෑත කාලයේ ගීතය හුදු විනෝදායන උපකරණයක් ලෙස භාවිතයට ගැනීම වඩාත් ප්රබලව මතුවී පෙනේ.  ලෝකයේ සියළු කලාවන් වෙළඳපොල ඉලක්ක කරගත් සංස්කෘතික කර්මාන්තයක් බවට පත්ව ඇති යුගයක, ලොව පුරා ඒ ඒ කලා ශානරයන් ඒකරූපි වන යුගයක ඉඳහිට හෝ සමාජ දේශපාලන අරමුණු ඉලක්ක කරගත් කලා නිර්මාණයක් ඇසුරු කරන්නට ලැබීම කලාවේ කාර්යභාරය පිළිබද වෙනත් විශ්වාසයක් තබා ඇති රසිකයාට සුළු අස්වැසිල්ලකි. ගීතය හුදු ප්රේම විලාපයන් බවට පත්වී, ප්රේමය නිසා කොඳු බිදගත් ගායක පරම්පරාවක් සමග ශ්රී ලාංකීය ගීතය වාණිජ මාධ්ය  ලෝකයේ අතින් අත හුවමාරු වෙන යුගයක  ඉතා අපූරු ගීතයක් නිර්මාණය වී ඇති ආකාරය අන්තර්ජාලය පරිහරණයේදී  ශ්රවණය කරන්නට අවස්ථාව ලැබුණි.
වරදකරුවන් විසින් සිය සිවිල් බලය පාවිච්චි කරමින් සගවා තබා ඇති අමිහිරි සත්යයක්, වින්දිතයන් ලෝ අපවාදයට බයේ සගවා ගන්නා සත්යයක්  ඉතාමත්  අපූරු වාග්මාලාවක් ඔස්සේ අසන්නට ප්රිය උපදවන සංගීත නිර්මාණයක් හා ගායන විලාසයක් ඔස්සේ  අප ඉදිරියට රැගෙන එන මේ ගීතයේ පද රචකයා වන්නේ රුහුණු විශ්ව විද්යාලයේ කතිකාචාර්යවරයෙකු වන  නන්දසිරි කිඹියහෙට්ටි විසින් වන අතර සංගීත හා තනු නිර්මාණය සමන්ත පෙරේරාගෙනි. ගැයුම නූතන පරම්පරාවේ අපූරු කටහඩක් හිමි ගායිකාවක වන ශානිකා සුමනසේකරගෙනි. ගීතය ඇරඹෙන්නේ මෙසේය.
දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර
ගිතයේ ස්ථායි කොටසින්ම රචකයා අපේ මනස අවදිකරයි.  මේ කියවෙන්නේ විශේෂයෙන් අපගේ උසස් අධ්යාපන ආයතන තුල රහසේ එහෙත් විශ්ව විද්යාල ප්රජාව හොඳින් දන්නා අමිහිරි සත්යයක් පිළිබඳවය.  රචකයා සිය ස්ථායි කොටසේ අවසන් පද දෙකින් මේ කාරණය පිළිබඳ රසික මනස අවදි කරවයි.
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර
සරසවියේදී හොඳම සිසුවිය වන්නට නම්, පන්ති සාමාර්ථයක් ලබන්නට නම්, කතිකාචාර්යවරියක ලෙස බැ‍දෙන්නට නම් ඇය සිය කුමරි බඹසර දිසාපාමොක්ට පිදිය යුතු වේ. බොහෝ සරසවි වල බොහෝ සිසුවියන් මුහුණපානා, එහෙත් නොකියනා සත්ය මෙයයි. නමුත් මෙහිදී රචකයා අප වෙත ගෙන එන සිසුවිය පවසන්නේ මම සාමාන්ය සිසුවියක ලෙසින් සරසවියෙන් පිටව යන්නම්, කුමරි බඹසර රැකි තරුණියක සේ කියාය.
ගිතයේ පළමු අන්තරා කොටස මෙවැනි සිදුවීම් වල ඇති අමානුෂික, සගවාගත් ජාගර බව රචකයා අපූරුවට මතු කරයි.
පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළදන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන් – තිබෙන කඩතොළු තැන්
රචකයා පවසන්නේ සරසවියේදී සියලු දේ ලබා ගත හැකි ඉහළම වටිනාකම නම් කුමරි බඹසර බවයි.  දක්ෂකම් නොතිබුණද සූසැට කලාවන්ගෙන් දක්ෂයෙකු විය හැකිය. රන් පදක්කම් දිනිය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් අහිමි කරගන්නා සිය පිවිතුරු බව කළු කබාය හැඳ එළෙන රතු පලස් මතින් පියමැනීමෙන් පිළිසකර කරගත හැකිද? රතු පලස් වලින් වසා ඇත්තේ දුගඳ හමන කඩතොළු අසූචි වළවල්ය.  ඉතා ප්රබල ලෙස මේ සිදුවිමේ ඇති අති අමානුෂික බව රචකයා රතුපලස් යට ඇති කඩතොළු තැන් වලින් සංකේතවත් කරයි.

ගීතය දෙවන අන්තරා කොටස සිය අත්දැකීම පරිපාකයට රැගෙන එන්නට රචකයා සමත් වෙයි. රසිකයා උපරිම ගිරිමුදුනට ඒ ඔස්සේ රැගෙන යයි.

උපදවා බැති පෙම් හැඟුම් නොරිදවා ගුරු සිත අකුරු කරමින් කෙලෙස අදහා ගනිම්දෝ දෙවොළ ඇතුලේ පහන් සොරකම් කරනබව දෙවියන් – දේවතා එලියෙන්

සාමාන්‍යයෙන් සිසුවෙකුට ගුරුවරයෙකු සම්බන්ධව ඇතිවන්නේ භක්ති පූර්වක ගෞරවයකි. සිසුවිය ගුරුවරයා දෙස බලන්නේ එලෙසිනි. නමුත් ගුරුවරයාගේ අරමුණ වෙන එකකි. එළියේ සමාජයේදී ඇයට සරසවිය යනු සිය ජීවිතයේ උද්දීප්ත අරමුණකි. එය දෙවොලකි. ගුරුවරුන් දෙවියන්ය. නමුත් ඇත්ත අත්දැකීමේදී ඇය විඳින්නේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකි. දෙවොල තුල වැඩවස්නා දෙවියන්ම දෙවොලේ පහන් සොරකම් කරන්නේයැයි කෙලෙස නම් අදහන්නේද? එය කරන්නේද දේවතා එළියෙනි. මෙය අපුර්වතම යෙදුමකි. ආචාර්යවරයා සිසුවියගේ කුමරි බඹසර බිලිගන්නේ සිය සිවිල් බලය පාවිච්චි කරමිනි. එය ඔහුගේ දේවතා එළියයි.

සමාජයේ බොහෝ තැන්වලදී කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින හා ලබාගන්නා සිවිල් බලැති පුරුෂයන් පිළිබඳ අප අසන්නට ලැබේ. විශ්ව විද්‍යාලය වැනි බුද්ධිමය සම්පත් ගැවසෙනා ස්ථාන ද එම ඛේදවාචකයෙන් ගැලවී නැත. එකම දේ එහි ඝණීභූත සිවිල් බලය භාවිතා කරමින් ඒ සියලු අවකල් ක්‍රියාවන් රතුපලස් වලින් වසා තැබීම පමණි. විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙක්ම සිය පද රචනයෙන් නිරාවරණ කරන්නේ මේ කල්කදුරු සත්‍යයයි.

සංගීත නිර්මාණය සුවිශේෂ අවධානයක් ඇතිවන නිර්මාණයක් නොවූවද, සමන්තගේ තනු හා සංගීත නිර්මාණය ගීතයේ උපයුක්ත අත්දැකීමට අසාධාරණයක් කර නොමැත. එහිදී සංගීතයට අමතරව ඔහු භාවිතා කරණ මිනිස් හඬක විලාපය සරසවි සිසුවියගේ හෘද අභ්‍යන්තරයේ වැලපීම අප වෙත ප්‍රක්ෂේපනය කරයි. ගොරහැඩි බවෙන් තොර සංගීතය නිසා මේ අත්දැකීමේ ඇති වේදනාත්මක බව අපට විඳින්නට හැකිවීම පමණක්ම සමන්ත අත්දැකීම අවබෝධයෙන් සප්ත ස්වර බවට පෙරලා ඇතැයි සිතිය හැකිය.

ශානිකා සුමනසේකර නම් වූ නව පරපුරේ ගායිකාව සිය හැගීම්බර කටහඬින් මෙම අත්දැකීම අපූර්ව අරුත් ජනනය වන ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇත. පසුතැවිල්ලට, වික්ෂෝපයට පත් සරසවි සිසුවියකගේ බාහිර සමාජයට නොපෙන්නනා අභ්‍යන්තර විලාපය ඇගේ කටහඬ තුල තැවරී ඇත. සමස්තයක් ලෙස ගත් කළ මෙම ගීතය අපට ඉඳහිට අසන්නට ලැබෙන අරුත් බර ගීතයකි. ප්‍රේම විලාපයන් ගහණ ගීත ලෝකයක, සිය ගීතය “හිට්” කරවීමට මාරාන්තික සටන් මෙහෙයවන රචකයින් හා ගායක ගායිකාවන් බහුල යුගයක, ඒ වෙනුවෙන් මාධ්‍යකරුවන් අල්ලස් ලබා ගන්නා යුගයක මෙවැනී ගීත අප සසල කරන්නේ ගීතයකින් සිදුවිය යුතු සමාජ ඥාණනය යම් තරමකින් හෝ ඉටු කරණ කලා නිර්මාණ වල දුලබතාව නිසාම බව අවසන් වශයෙන් සටහන් කළයුතුය.

ගීතය පහලින්

 

Related posts:

Comments

comments