මේ යුද්ධයෙන් මගේ රට බේරා දෙන්න

සිරියානු ජාතික සත් හැවිරිදි බානා දැරිය තුර්කි ජනපතිගෙන් ඉල්ලා සිටී

සිරියාවේ නැගෙනහිර ඇලෙපෝ (Aleppo ) නගරය ඓතිහාසික වටනාකමකින් යුතු ලෝක උරුමයක්‌ බවට පත් වූ නගරයක්‌. එය නෑකම් කියන්නේ දිගු ඉතිහාසයකට. මෙසපොතේමියාව හා සම්බන්ධ පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන් මල් කඩ හැටියට සැලකෙන නගරයක්‌. එහෙත් දැන් ඒ නගරය ජන ශුන්‍ය වූ මළවුන්ගේ හිස්‌ භූමියක්‌ හැටියටයි දිස්‌වෙන්නෙ. එහි ඇති පෞරාණික වටිනකමක්‌ ඇති සියලු ගොඩනැඟිලි සුණුවිසුණු වී ගිහින්.

දැනට පස්‌ වසරක්‌ තිස්‌සේ ඇලෙපෝ නගරය දෙසින් ඇසෙන්නේ වෙඩි හඬ. එහි ජනතාව සිටින්නේ මර බියෙන් ඇළලී ගෙන. දැනට නගරවාසී බොහෝ දෙනා නගරය අත්හැර පලා ගිහින්. දස දහස්‌ ගණනක්‌ මළවුන් අතර. තවත් අය බරපතළ තුවාල ඇතිවයි සිටින්නෙ.

සිරියානු හා රුසියානු හමුදා කැරලිකරුවන්ට එරෙහිව ගෙන යන මේ සටනින් දැනට පන්ලක්‍ෂයක්‌ ජනතාවට දිවි අහිමි වී ගිහින් බවයි වාර්තා වන්නේ. යටත් වන ජනතාවට ආරක්‍ෂාව සැපයීම ජාත්‍යන්තර පිළිගැනීම වුවත් අලෙපෝහි එය ක්‍රියාත්මක වන්නේ උදාසීන ලෙසයි. යුද්ධයෙන් පීඩාවට පත්වන ජනතාවට අතිරේක ආරක්‍ෂාව සැපයිය යුතු බවට පෙර මහත්මා ගාන්ධි විසින් පවා ඉල්ලා ඇති මානව අයිතියක්‌ බව ප්‍රකටය.

සිරියානු විපක්‍ෂය විසින් මෙහෙයවනු ලබන හමුදා මෙහෙයුම් විසින් 2012 සිටම එයට එරෙහිව රජයේ හමුදාවල ප්‍රති ප්‍රහාරවල වෙඩි හඬින් සිරියානු වැසියන්ගේ කන් බිහිරි වී ගොස්‌ය.

එහෙත් මේ වන විට මෙම කණ්‌ඩායම් අලෙපෝව අත්හැර යමින් සිටින්නේ රුසියානු සහය ලැබ දිගට හරහට පහර දෙන සිරියානු හමුදාවල ප්‍රහාරයන් නිසාය. එහෙත් සිරියාව යුද්ධය ජය ගත්තද එම භූමිය මළවුන්ගේ දේශයක්‌ මෙන් පාළුවට ගොස්‌ය.

මේ සටහන තබන්නේ තමා සතු සියලු දේ යුද්ධය නිසා අහිමි වීමේ දුක්‌ කන්දරාව ටිවිට්‌සර් ගිණුමක්‌ හරහා ලෝකයට විවෘත කළ එක්‌තරා සිඟිති දියණියක්‌ ගැන කියන්නටය.

බානා අලාබෙඩ් නම් මේ දැරියගේ වයස අවුරුදු හතක්‌. ඇය තම ගිණුම ඔස්‌සේ වැළපෙමින් කියා සිටින්නේ තමාගේ අලුත් නිවස බෝම්බ පහරක්‌ වැදී පොඩි පට්‌ටම් වීමේ දුක්‌මුසු කතාවය.

මගේ පියා හොඳටම තුවාල වෙලා. මම අඬමින් ඉන්නේ ඇය කියා සිටියි. ඉංග්‍රීසි ගුරුවරියක වූ ඇගේ මව වන පෙටෙමෂ් කියා සිටින්නේ රොකට්‌ පහරක්‌ වැදී තම නිවස විනාශ වී ගොස්‌ ඇති බවත් මෙවැනි තදබල රොකට්‌ ප්‍රහාරයක්‌ තම ජීවිතය තූළ කිසිදාක දැක නැති බවය. මෙතැනින් වහා පලා යනු හැර තමාට වෙනත් විසඳුමක්‌ නැති බවය. නැතිනම් නිසැකවම මරණය හිමි වන බවය.

හමුදාව ඉන්නේ අත ළගමයි. මම දන්නෙ නෑ කරන්න ඕනෑ මොනවද කියලා. එකම දේ මෙතැනින් පලා යාම පමණයි. ඔවුන් අප මරා දමාවි යයි අපි බියෙන් ඉන්නේ.

ඇලෙපෝහි සිය ගණන් ජනයා අතුරුදහන් වී ඇති අතර දහස්‌ ගණන් කුඩා දරුවන් පණපිටින් දැවී ගොස්‌ ඇති බවත් වාර්තා වෙනවා. බානා අවසාන වශයෙන් කියා සිsටින්නේ ඉතා දරුණු බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වූ බවය. එයින් නගරවාසීන්ට ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බවය. දින කීපයකින්ම තමාට හරිහැටි නින්දක්‌ නොමැති බවත් තමා දැඩි කුසගින්නකින් පෙළෙන බවත් ඇය කියා සිටී.

නොබෝදා සිදු වූ එක්‌ අවාසනාවන්ත සිදුවීමක්‌ නිසා සිරියානු අර්බුදය තවත් වියවුල් අතකට හරවන අමිහිරි තත්ත්වයක්‌ ඇති කළා. එනම් තුර්කියේ රුසියානු තානාපතිවරයා මුස්‌ලිම් අන්තවාදියෙකු විසින් ප්‍රසිද්ධ වේදිකාවකදී වෙඩි තබා මරා දැමීමයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් රුසියානු ජනාධිපති පුටින් කියා සිටියේ යුද ශක්‌තිය අතින් රුසියාව ලොව අන් කිසිම රටකට දෙවැනි නොවන බවයි. විසිවන සියවසේ ලොව යුද විමුක්‌ත කලාපයත් ගැන සිහින මවමින් සිටිනා යුගයක මෙවැනි ප්‍රකාශ නම් හිතකර නොවන අභියෝගාත්මක ඒවා හැටියටයි ලොව හඳුන්වන්නේ.

කෝප සහගතව ඇවිළෙන ගින්නට පිදුරු දැමීම කිසිසේත් නොකළ යුතු අශීලාචාර ක්‍රියාවක්‌ ලෙසිනුයි ඔවුන් එම ප්‍රකාශය දකින්නෙ.

ඉතා පැරණි ඓතිහාසික නගරයක්‌ සුන්බුන් කරමින්a ලක්‍ෂ ගණනින් එහි වැසියන්ගේ දිවි තොර කරමින් හා ජීවිත කාලයක්‌ ඔවුන් වාසය කළ නිජ බිමෙන් පලා යාමට සලස්‌වමින් මේ කරන උන්මාදනීය බලකාමී අරගලය කෙසේනම් අනුමත කළ හැකිද?

අනික්‌ අතට යුද්ධය ගැන හය හතරක්‌ නොදන්නා කිරි සප්පයන්ගේ අනාගතය උදුරා ගන්නා මේ ම්ලේච්ඡ ක්‍රියාදාමය ලොව බලවතුන් යෑයි කියා ගන්නා අය විසින් තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු දැයි දෙවරක්‌ සිතා බැලීම වටී.

තම නිවස මුළුමනින්ම විනාශ වූ බානා දැරිය තුර්කි ජනාධිපතිවරයා මෑතකදී හමු වූ අවස්‌ථාවේදී ඉල්ලා සිටියේ මේ යුද්ධය නැවැත්වීමට කළ හැකි දෙයක්‌ කරන ලෙසයි. ඇය මෙන්ම සිරියාවේ ඉතිරිව සිටින ජනතාවගේ හා සියලු දරුවන්ගේ ඉල්ලීම වන්නේ එය නොවේද?

|ලීලානන්ද වික්‍රමසිංහ

Related posts:

Comments

comments