2017 දී ආණ්ඩුව කෙරෙහි තබන අපේක්ෂා

කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග්‍රයෙන් වෙලී යන සැටි, හරි වැරැද්ද නිවැරදිව දකින බොහෝ දෙනා එදා බලා සිටියේ විමතියෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් යුතුවයි.

 අපේ ආගමික වටිනාකම්, සිරිත්විරිත් සහ සංස්කෘතිය මෙන්ම රාජ්‍ය පරිපාලනය දේශපාලනීකරණය වීමේ මට්ටම ඉතා අනතුරුදායක අඩියකට ඇද වැටෙමින් තිබුණි. ඥාති සංග්‍රහය, අල්ලස සහ දූෂණය ඔඩුදුවා තිබුණි. එබැවින් රටේ වෙසෙන මිනිසුන්ට වෙනසක් අවශ්‍ය විය. ඔවුන් සිටියේ එදා රඟ දැක්වෙමින් තිබුණු දේශපාලන සංදර්ශනයෙන් හෙම්බත්වයි.ඒ තත්වය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගනු ලැබීම සැබෑ වෙනසක් සඳහා ලංකාවට ලැබුණු අගනා අවස්ථාවක් විය. ඔහුගේ පත්වීම, අධිකාරීවාදී තන්ත්‍රය සහ ඥාති සංග්‍රහයට එරෙහිව නිදහස, යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලද ජයග්‍රහණයක් බව නිසැක ය. 2015 ජනවාරියෙන් පසු අළුතෙන් ලද මේ දේශපාලනික සහ සමාජයීය නිදහස, ආණ්ඩුව තුළ නව අවස්ථා රාශියක් නිර්මාණය කෙළේය. එහෙත් මේ වන තෙක් ආණ්ඩුව ඒ අංශයෙන් පුර්ණ ප්‍රගතියක් අත්කර ගැනීමට අසමත්ව සිටී.

ආර්ථික සහ දේශපාලනික නිදහස

ශ්‍රී ලංකාවේ එතෙක් පැවති විධායක ජනාධිපති ධුරය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අළුතෙන් එක් කර ගැනුණු ඒකාධිපති අංග ලක්ෂණවලින් තව තවත් තර කර ගැනුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටේ සමස්ත රාජ්‍ය පරිපාලන යන්ත්‍රයම, එහි සෑම සියළු අංශයකින්ම, ගොඩගත නොහැකි තරමේ දේශපාලනීකරණයකට යට විය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අපේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමානුකූලව සහ නිශ්චිත ආකාරයකින් විනාශ කර දැමුණා පමණක් නොව, වගවීමක් රහිතව ජනතා මුදල් නැති නාස්ති කිරීමට සේම දූෂණයටත් යෝග්‍ය අවස්ථා නිර්මාණය කරමින් රටේ ආර්ථිකය අස්ථාවර කෙළේය. ඒ මගින් අපේ සමාජයේ සමාජ නිර්මිතයම විනාශ කර දැමුණි. දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, නීතිය හා සාමය යළි ස්ථාපිත කර ගැනීමටත්, ස්වාධීන රාජ්‍ය සේවාවක් යළි පිහිටුවීමටත් මාර්ගය උදා වී තිබේ.

පාර්ලිමේන්තු ක්‍රමයෙන් ගිලිහී ගොස් තිබූ වගවීමේ ක්‍රියාවලිය යළි ස්ථාපනය කිරීමේ පොරොන්දුව සේම, වගවීම සහ පාරදෘෂ්‍ය භාවයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පොරොන්දුවත් ඉෂ්ට කිරීම ආණ්ඩුවට පැවරී තිබේ. ඊට අමතරව, මානව වටිනාකම්, මානව අයිතීන්, නීතියේ ආධිපත්‍යය, විනීත භාවය සහ ආර්ථික නිදහස ලබා ගැනීම සඳහා ද දිගටම කටයුතු කිරීමට තිබේ.

විශ්වාසය ගොඩනැගීම

නව රැකියා අවස්ථා නිර්මාණය කරමින්, කෘෂිකර්මය සහ කර්මාන්ත අංශය සංවර්ධනය කරමින්, අධ්‍යාපනික සහ නිපුණතා නිවැරදිව ස්ථානගත කරමින්, ස්ථාවර සහ සමබර ආර්ථික සංවර්ධනයක් ඊට අදාළ පරිසරයක් සහිතව ගොඩනැංවීම ගැන ආණ්ඩුව සහතික විය යුතුව තිබේ. නිවාස නැති ජනතාවට නිවාස සපයා දීම සහ යුද වින්දිතයන් ඇතුළු සමාජයීය වශයෙන් කොන් වුණු සහ අබාධිත ජන කොටස් බලගැන්වීමත් ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් විය යුතුය. ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය වාතාවරණයක් සැකසීම, දේශීය මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම, ප්‍රමුඛතාව ලැබිය යුතු තවත් අංශයකි. රාජ්‍ය පද්ධතිය තවදුරටත් නිර්-දේශපාලනීකරණයට ලක් කිරීම හරහා, මේ වන විට ධෛර්ය සිඳී සිටින බොහෝ ව්‍යාපාරිකයන්ව යළි ශක්තිමත් කොට පුනර්ජීවනය කළ හැකි වන්නේය.

මේ අතර, කොටස් වෙළඳපොළට නව ජීවය පිඹිය යුතුව තිබේ. ඒ මගින්. සැබෑ ආයෝජකයන්ව ආකර්ශනය කර ගැනීම මෙන්ම, කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කිරීමෙන් ව්‍යවසායකයන් විශාල පිරිසකට ප්‍රතිලාභ ලබා ගත හැකි අවස්ථා සම්පාදනය කර දිය යුතුව තිබේ. එසේ වන බවට සහතික වනු වස් ආණ්ඩුව කළ යුත්තේ, ඒ කාර්යය පහසු කරවන්නෙකු වශයෙන් කටයුතු කිරීම පමණි. ඒ සඳහා, වඩාත් සුදුසු නියාමනයක් සහ නායකත්වයක් අවශ්‍ය කෙරේ.

ව්‍යාපාර කරනු ලබන්නේ පෞද්ගලික අංශය මගින් පමණක් ය යන පණිවිඩය ගෙන යාම මෙහිදී අවශ්‍ය කෙරේ. ඒ සඳහා කාටත් අවශ්‍ය සාධාරණ පසුබිම සැකසීම සහ සෑම ව්‍යාපාරයකටම ප්‍රතිලාභ ලැබිය හැකි වන ආකාරයේ ආයෝජන-හිතකාමී දීර්ඝ කාලීන ප්‍රතිපත්ති සකසා ගැනීම ආණ්ඩුවට පැවරෙයි.

ආයෝජන සඳහා සුදුසු පරිසරය නිර්මාණය කර දීම සඳහා නීතිය හරහා ලබා ගන්නා අමතර බලයක් දේශපාලඥයන්ට අවශ්‍ය නොකෙරේ. ඒ සඳහා අවශ්‍ය කරන්නේ, ආයෝජන සඳහා බාධක වශයෙන් පවතී යැයි හඳුනාගෙන ඇති බොහෝ රෙගුලාසි සහ බදු ව්‍යුහයන් සහ ගෙවීම් ව්‍යුහයන්, ජනතාව සහ පෞද්ගලික අංශය අතර කෙරෙන සාකච්ඡාමය ක්‍රියාවලියක් හරහා ඉවත් කිරීමයි.

එසේම, ජී.එස්.පී. ප්ලස් යළි ස්ථාපිත කර ගැනීමටත්, අළුත් වෙළඳපොළවල් විවෘත කර ගැනීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුය. එහිදී, දුර්වල, ආබාධිත, වැඩිහිටි සහ රැකියා විරහිත ජන කොටස්වල අභිවෘද්ධිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබේ. එසේම, පරිසර සංරක්ෂණය ගැනත් සිතා බැලිය යුතුය.

කෙසේ වෙතත්, මේ සියල්ල කිරීම සඳහා යෝග්‍ය දක්ෂතා ඇති, විශ්වසනීයත්වයක් සහිත පුද්ගලයන් පත්කර ගැනීම අනිවාර්ය කෙරේ. අතීතයේ කළ වැරදි නැවත සිදු කළ යුතු නැත. මන්ද යත්, වැඩකට නැති සහ කමකට නැති ආණ්ඩුවලට තෑගි දීමේ මනෝ භාවයක තවදුරටත් රටේ ජනතාව නොසිටින බැවිනි. වඩා යහපත් සමාජයක් අරමුණු කරගෙන නව ජනාධිපතිවරයාව පත්කර ගත් ජනතාව, උද්ධච්ච පාලක පංතිවලට සමාව දීමට සූදානම් නැත. ඒ නිසා, 2017 යනු, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධයෙන් ගත් විට, තමන් දුන් පොරොන්දු ඉටු කරන සහ මහජන අපේක්ෂා සපුරාලන වසරක් විය යුතුව තිබෙන්නේය.

2016 දෙසැම්බර් 23 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ  Expectations From the Government in 2017 2017 නැමැති ලිපියේ සිංහල පරිවර්තනය   ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

 

|දිනේෂ් වීරක්කොඩි

Comments

comments