ට්‍රම්ප් හිට්ලර්ටත් අන්තයි ! – නෝම් චෝම්ස්කි

පණස් වසරකටත් අධික කාලයක් තිස්සේ ජනපති පුටුවට එන සියලු ඇමරිකානු නායකයන්ගේ අංක එකේ විවේචකයා වූයේ ඔහු ය. ඔහු දාර්ශනික නෝම් චෝම්ස්කි ය. අලුතෙන් එන්නට යන ට්‍රප්ම් ගැන ඔහු කියන්නේ මොනවාද ? ට්‍රම්ප් ගැන දිය හැකි එකම පුරෝකථනය ‘ඔහු මොනවා කරයිදැයි කලින් කියන්නට බැරි බව’ හෙවත් ‘පුරෝකථනය කළ නොහැකි බව’ යැයි නෝම් චෝම්ස්කි කියයි. “මං හිතන්නෙ ඒක භයානක දෙයක්.. ඒක හරිම භයානක දෙයක්!’
අල්ජසීරා පුවත්සේවයේ නිවේදකයා ඉදිරිපිට වාඩි වී සිටින නෝම් චොම්ස්කි පසුවන්නේ සුපුරුදු සැහැල්ලුවෙනි. මේ වටිනා මිනිසා, ඇමරිකානු ජනාධිපතිවරුන් පහළොස් දෙනෙකුගේ ආගමනය ද නික්ම යාම ද සියැසින් දුටුවේය. උන් පිස්සු කෙළින හැටි සිය දාර්ශනික මනසින් කදිමට විග්‍රහ කළේය. දැන් ඔහු කතා කරන්නේ ඒ සියලු දෙනාම ඉක්මවා යන උන්මත්තකයෙකු ගැන ය.
“ඔහු අනිවාර්යයෙන්ම දේශපාලන ධාරාවෙන් පිටත සිටින කෙනෙක්. ඔහු කිසිම දේකට සමාන කරන්න බෑ..”
මදක් හිටින්න!! නෝම් චොම්ස්කි මේ කීවේ ට්‍රම්පා ‘මාර අසමසම පොරක්’ කියා නොවේ. නැත්නම් මේ කෑල්ල විතරක් අල්ලාගෙන හෙට වනවිට ලංකාවේ අන්ත දක්ෂිණාංශික දේශපාලු පොරවල් ’නෝම් චෝම්ස්කි පවා උත්කෘෂ්ට ට්‍රම්ප් ගැන මෙසේ කියන්නේය’ යනාදී වශයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට ඉඩ තිබේ. ලංකාවේ පමණක් නොව ඇමරිකාවේ පවා එසේ විය හැකි බව සපථ කරමින් අල් ජසීරාවේ බුද්ධිමත් නිවේදකයා එසැණින් අතුරු ප්‍රශ්නයක් නැගුවේය. “… මොන සුවිශේෂී අදහසකින්ද ඔබ එහෙම කියන්නෙ?”
එවිට නෝම් චොම්ස්කි ලබාදෙන පිළිතුර කදිම ය. ඒ පිළිතුරේදී ට්‍රම්ප් විසින් මීට පෙර කිසිදු දේශපාලන  තනතුරක් නොදැරීම යනාදී කරුණු අතර හොඳ යෙදුමක් ද භාවිතා කරයි. ඔහු කියා සිටින්නේ ට්‍රම්ප් යනු ‘බේසිකලි ෂෝමන්’ කියා ය. එනම් ‘මූලික වශයෙන්ම සෝබනකාරයෙක්!’ කියා ය!!
2010 වසරේදී නෝම් චොම්ස්කි විසින් ‘අනාගත ඇමරිකානු නායකයා’ ගැන ඉතා නිවැරදි අනාවැකියක් කියා තිබේ. එහි අර්ථය මෙසේ ය. “ඉදිරියේදි ඇමරිකාවේ නායකත්වයට ජන ආකර්ෂණයක් තිබෙන යම් කෙනෙක් පත්වෙනවා. අපේක්ෂා භංගත්වය සහ යුක්තිසහගත කෝපය හේතුවෙන් මේ රට තිබෙන්නේ සැබෑ ප්‍රශ්නයකයි. කළු සමක් ඇත්තන් සහ නීතිවිරෝධී සංක්‍රමණිකයන් නපුරු බවේ ඉලක්කය බවට පත්වේවි. ඒ මිනිසුන්ට පහර වැදේවි… එය එසේ සිදුවුවහොත් ජර්මනියටත් වඩා භයානක රටක් බවට ඇමරිකාව පත්වේවි..”
දැන් මේ උදා වී තිබෙන්නේ ‘නව ට්‍රම්ප් යුගය’ යනුවෙන් ඇතැම් විචාරකයන් හඳුනාගන්නා ඒ යුගයදැයි අල් ජසීරා නිවේදක මෙධී හසන් ඇසූ විට නෝම් චොම්ස්කි ලබාදුන්නේ කදිම පිළිතුරකි. ට්‍රම්ප්ගේ ඇමරිකාව, ජර්මනිය සමග සම කළ නොහැකි බව ඔහු කීවේය. ඒවාට හේතු ද කීවේය. “… ජර්මනියෙ හිට්ලර් විශ්වාසනීය, කැපවුණු, පරමාර්ශී කෙනෙක්. ඒත් ට්‍රම්ප්ට ‘මම’ හැරුණාම වෙනත් පරමාදර්ශයක් නෑ..!!!”
ඒ අතින් බලන විට ට්‍රම්ප්, හිට්ලර්ටත් වඩා අන්ත නායකයෙක් වනු ඇත. ඇත්තෙන්ම ඇමරිකානු හමුදාව ප්‍රසාරණය කරනවා හැරුණු විට ට්‍රම්ප් කෙරෙන් වෙනත් කිසිදු නිශ්චිත දේශපාලන සැලසුමක් මේ දක්වාම හඳුනාගන්නට ලැබී නැත.
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම අකමැති නිසා තුන්වැනි පාර්ශවයකට ඡන්දය පළ කළ සහ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී මැතිවරණ දිනයේ ගෙදර නැවතුණු අය ගැන නෝම් චෝම්ස්කි කරන විග්‍රහය අපූරු ය. ඔහු මෙසේ අසයි. “එක අපේක්ෂකයෙකුටවත් කැමති නෑ කියල ඔබ භයානකම යක්ෂයාට ඡන්දය දෙනවාද…? ඔබට කුමක් හෝ දැනමුතුකමක් තිබෙනවා නම් ඒ භයානකම යක්ෂයා ව ඈතින් තියාගන්න ඕනෙ..” තමන් හිලරි ක්ලින්ටන් ට ද අකමැති බව නෝම් චෝම්ස්කි කියයි. නමුත් ඔහු ඡන්දය දුන්නේ හිලරිට ය. ඒ ඇයි? මෙන්න ඔහුගේ පැහැදිලි කිරීම. “මම හිලරි ක්ලින්ටන්ට පොඞ්ඩක්වත් කැමති වුණේ නෑ. නමුත් ඕනෑම ප්‍රශ්නයක් ගැන ඇගේ ස්ථාවරය ට්‍රම්ප් හිටිය තැනට වඩා බොහෝ ඉහළයි!”.
ඇත්තෙන්ම වැඩි ජනතා ඡන්ද මිලියන 3 කින් හෙවත් ලක්ෂ 30කින් හිලරි ක්ලින්ටන් මේ මොහොතේත් ඉදිරියෙන් සිටියදී, ඉලෙක්ට්‍රෝලර් කොලෙජ් නමැති සියවසක් පරණ, යල් පැනගිය මැතිවරණ සිස්ටම් එකෙන් ගොඩ යන්න ට හෝ ට්‍රම්ප් වැනි අයෙකුට ඡන්දය දුන්නේ කවුද? ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුව ට්‍රම්ප්ට ඡන්දය දුන් අය ‘ගෝලීයකරණය තුළ ජයග්‍රාහකයන් බවට පත්වීමට නොහැකි වූ පරාජිතයන් ය. තවද සුදුජාතික වැඩකරන පන්තියේ ජනතාව ය. හෆින්ටන් පෝස්ට් පුවත්පතට අනුව නිදහස් වෙළඳාමෙන් පාඩු වින්දවුන්ය. පොදුවේ කියන්නේ නම් ‘ආර්ථික කාසාවෙන්’ පෙළෙනවුන්ය. නමුත් කළු ජාතිකයන්ව පෙන්නන්නට බැරි කම හෝ තමන්ට වඩා වෙනස් සේ දැනෙන අයට වෛර කිරීම ආර්ථික කාංසාව නොව අමනුස්සකමයි. එය අමනකම හැර වෙන දෙයක් නොවේ. ට්‍රම්ප් මාර බිස්නස් කාරයෙක් යැයිද ආර්ථිකය ගොඩදමන ගැළවුම්කාරයා ඔහු යැයි ද ඇමරිකාව විශ්වාස කළා නම් ඔහුට ඡන්දය දිය යුත්තේ අඩුආදායම්ලාභී සුදු ඇමරිකානුවන් ය. නමුත් නොවැම්බර් 9 වැනිදා එඩිසන් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් හෙළි කළ ආකාරයට, හිලරිට ඡන්දය දුන් අය අතරින් ඩොලර් පණස් දහසකට වඩා අඩු ආදායම් ලබන අය සියයට 52 ක් සිටී. එටය සාපේක්ෂව ට්‍රම්ප්ට ඡන්දය දුන්, ඩොලර් පණස් දහසකට වඩා වැඩි ආදායම් ලබන අය සිටින්නේ සියයට 49 ක් පමණි. ඉතින් පෙර කී ආර්ථික කාංසා සිද්ධාන්තය නිවැරදි නම්, සිදුවිය යුතුව තිබුණේ මෙහි අනෙක් පැත්ත, එනම් ට්‍රම්ප්ට ඡන්දය දුන් අයගෙන් බහුතරය ඩොලර් පණස් දහසට වැඩි ආදායම් ලැබූ අය වීම නොවේද? මේ අන්දමින් කුමන ආකාරයෙන් විග්‍රහ කරගන්නට ගියත් අවසානයේ ට්‍රම්ප් නමැති මැළයට ගිනි පිඹ තිබෙන්නේ ජාතිවාදය සහ අන්තවාදය බව පෙනී යයි. ස්වභාවයෙන්ම මිනිස් සිතේ ‘හොඳ’ වෙතට වඩා ‘නපුර’ වෙත ලැදිකමක්-ඇදී යාමක්-ආකර්ෂණයක් තිබේ යැයි මනෝවිද්‍යාඥයෝ කියති. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ගැම්ම ලැබෙන්නේ ඒ ජාගර සිත්වල පටු හැඟීම්වලිනි. දැන් ඉතින් ඇමරිකාව ඔහුට නටන්නට වේදිකාව තනා දී අවසන් ය.
නෝම් චොම්ස්කි මේ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදී කියූ දේවල් අතරින් හොඳම ‘ඩයිනමයිට් කතාව’ ට්‍රම්ප්ගේ ට්විටර් පාවිච්චිය ගැන ය. “න්‍යෂ්ටික කේත සම්බන්ධයෙන් පාන්දර තුනට, කෝපාවිෂ්ටවෙලා ට්වීට් කරන, නූගත්, අනුන්ගේ මත නොඉවසන මෙගලොමේනියාකාරයෙක් (අහංකාරෝන්මාදයෙන් පෙළෙන්නෙක්) රටේ නායකයා වශයෙන් සිටීම අතිශයින්ම උපද්‍රවසහිතයි…!!”
මේ නිසා ට්‍රම්ප්ව උත්කර්ෂයට නැගූ අයගෙන් අප අසා සිටිය යුත්තේ මෙයයි. ‘ඔබට සතුටුයිද දැන්…!!!”
– ක්‍රිෂාන්ති රාජපක්ෂ
නෝම් චෝම්ස්කි සමග අල් ජසීරා පුවත්සේවය පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්

LNW

Related posts:

Comments

comments