කරුණානන්ද සහ නත්තල් ගස

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 10,000 ඉසව්වේ අවසන් ස්ථානය හිමිකරගත් ලංකාවේ රංජිත් කරුණානන්ද තම නියමිත දුර ප්‍රමාණය අවසන් වන තුරුම ධාවනයේ යෙදුණේය. ජපානයේ පෙළපොත්වලද එම පුවත සඳහන් වූ බව පැවසෙතත් ඒ කුමන පෙළපොතේදැයි අප නොදන්නෙමු. නමුත් ඒ ගැන මහත් ආඩම්බරයෙන් සහ අභිමානයෙන් කතා කරන අප නොපසුබස්නා උත්සාහයට සහ අධිෂ්ඨානයට නිදසුන් ලෙස සපයන්නේ ඒ කතා පුවතය. කරුණානන්ද ඔලිම්පික් යන්නේ ඔහුගේ පුද්ගලික මුදලින් නොවේය යන කරුණත් ඔහුව ඔලිම්පික් යවන්නේ තරගය නිම වෙන තුරු දිවීමටය යන කරුණත් ඒ මොහොතේදී අදාල නොවේ. ජපන් වැසියන් අසුනින් නැගිට අත්පුඩි තැලීම සහ ජපන් පෙළපොතක ඒ සිදුවීම සඳහන් වූ බවට කතා වීමම අපට සැනහෙන්නට කරුණකි.

වසර 52 ට පසුව ලංකාවේ ගාලු මුවදොර ඉදිවූ නත්තල් ගසකි. කාඩිනල් වරයාගෙන් පවා සිදුවන කකුලෙන් ඇදීම් මැද ඉදි කළ එම නත්තල් ගස අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු මට්ටමකින් ඉදි වේ. ඉහළ නියෝග මත අත් හිටවන ලද නත්තල් ගස නැවතත් දින කිහිපයකින් වැඩ ආරම්භ කරන ලදි. එම අවහිරතා නිසා අපේක්ෂිත උස කරා යන්නට නොහැකි වූවද කෙසේ හෝ රාත්‍රියට සුන්දරව පෙනෙන නත්තල් ගසක් තැනීමට සංවිධායකයින්ට හැකියාව ලැබිණ. කොතරම් බාධා සහ කම්කටොළු පැමිණියද තම අරමුණ කරා යන්නටත් සාර්ථක ප්‍රතිඵලයක් අත් විඳින්නටත් ඔවුන් සමත් වූහ.

මිත්‍රවරුනි , ජපානයේ කිසිවෙක් හෝ නත්තල් ගැස දැකනැගිට අත්පොඩි ගැසූ බවක් ආරංචි වී නැත. ජපානයේ පෙළපොත් වල මේ ගැන සඳහන් වූ බවක් අසන්නට නැත. ඉදින් අපිට කරුණානන්ද ගේ මීටර 10,000 මෙන් මේ නත්තල් ගස උත්කර්ෂයට නගන්නට සිතෙන්නේ නැත. එදා කරුණානන්ද නියමිත දුර අවසන් කරන තුරුම තම උත්සාහය අත්නොහැරීම ගැන ඇතිවන ප්‍රමෝදය අද අප ඉදිරියේ ජීවමානව තිබෙන නත්තල් ගස දැකීමෙන් හටගන්නේ ද නැත

පුදුමයක් ද නොවේ. මේ රංජිත් කරුණානන්දගේ දේශයයි. ඇගයීමක් ලෙස ජපානයෙන් රැකියාවක් ලබන ක්‍රීඩකයා ජපන් යන්නට දින කිහිපයකට පෙර අබිරහස් ලෙස නාමල් ඔය ජලාශයට වැටී මිය යන , මිය ගිය පසුව දේවත්වයෙන් පුදන කරුණානන්දගේ දේශයයි.

|සහන් කසීර වික්‍රමසිංහ

Related posts:

Comments

comments