පෙමක මුනිවර මුහුණ දුටුවෙමි

කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන භූමියේ මහා නුග ගහ යට සිමෙන්ති බැම්ම මත වාඩි වීමට කිසිත් ඉඩක් නැත. බොහෝ දෙනා ආහාර ගන්නේ ද සිටගෙනම ය. ඒ අතර පෙම්වත් යුවළකි. පෙම්වතිය අත “පීට්සා” ය. පෙම්වතා අත “නූඩ්ල්ස්” වර්ගයක් හා පෙම්වතියගේ බෑගය ය. “පීට්සා” සහ “නූඩ්ල්ස්” පන්ති දෙකක කතාන්තරයකි. මට ටිම්රාන්ගේ “පෙමක මුනිවර මුහුණ” පද්‍යය සිහි විය.

ටිම්රාන් කීර්ති හෙවත් මෑත කාලීන කවියන් අතර ‘ටිමා’ නමින් ප්‍රකට ඔහු සම්මානනීය කවියෙකි. ඔහුගේ ‘යන්නං චන්දරේ’ නම් වූ කවි පොතෙන්, ‘පෙමක මුනිවර මුහුණ’ අපට හමුවන්නේ.

“මොනවද ඔයැයිලට – ගේන්නේ කෑමට?”

අසයි ‍වේටර් කොලූ – නැඹුරුව අපේ මේසෙට

“මං කහටෙකක් බොන්නං – ගෙදර ගිය ඉඩවරේ

බත් කටක් කෑහැකිනෙ – උඹයි කෙල්ලයි දෙන්න

මොනවහරි කාහල්ල – මදිවෙන්නෙ නෑ පුතේ

මාරු තියනව හැඹිලියේ…”

කුසගින්න, නින්ද, බිය හා මෛථුන්‍යය යන කාරණාවලදී මිනිසුන් සහ තිරිසනුන් ද සමාන ය. ප්‍රත්‍ය ශතකය සඳහන් කරන්නේ “ක්ෂුද්‍රා තුරාණම් නරුචිර් නප්‍රත්‍යා” යනුවෙන්. එනම් කුසගින්න උග්‍ර වන විට රුචිය හා ප්‍රත්‍ය වීම හෙවත් “පත්තියං වීම” නොසැලකෙන්නේය.

ටිම්රාන්ගේ කවියේ අපට හමුවන කථකයා “මං කහටෙකක් බොන්නං, උඹයි කෙල්ලයි දෙන්න මොනවහරි කාහල්ල. මාරු තියනවා. මදිවෙන්නෑයි කියන්නේය. ඒ වචන ගැළපීම තුළ ම කථකයාගේ මනසේ පොරබදන දරිද්‍රතාවය හා කුසගින්න නිරාවරණය වන්නේ ය. සියල්ල පදනම් වන්නේ ආර්ථිකය මත ය. අවමයෙන් ජීවය පවා. කුසගින්න මිනිසුන් තිරිසනුන් හා සමාන කරන පොදු සාධකයකි. ප්‍රේමය යනු මේ සියල්ල අතික්‍රමණය කිරීමයි. තමන්ගේ දරිද්‍රතාව මෙන් ම කුසගින්න ද මැඬගෙන අනෙකාගේ කුසගින්න නිවීමට ප්‍රයාස දරන මේ කථකයා ප්‍රේමයේ ගැඹුරු අරුත අපට කියන්නේ ය.

මා පොත් සල්පිලේ දී දුටු “නූඩ්ල්ස්” කන පෙම්වතා ද ඇතැම් විට “මං ‘පීට්සා’ කන්න කැමති නෑ ‘නූඩ්ල්ස්’ කන්නම්” ලෙස කියන්නට ඇතුවා ඇති.

ටිම්රාන් අප වෙත ගෙන එන කථකයා දරු පවුල් කාරයෙකි. දරු පවුල්කාර පෙම්වතුන්ට තේරෙන බොහෝ දේ අවිවාහක පෙම්වතුන්ට නොතේරෙන්නේ ය.

“යාබද ව අසුන් ගත් – තුරුණු පෙම්වත් යුවළ

ඉසියුම්ම දෙනෙත් හී මානමින්

බි‍ඳෙන් බිඳ තොල ගායි – කූල් කෝලා දෙකක්

යටි හිතෙන් හිනාවෙනවැති අපට

ජීවිතේ විසල් බර දැනේයෑ – ළපටි ආදරයකට…

පෙම්වතුනට විවාහයට පෙර සැබෑවට ම ප්‍රේමය හමුවෙනවා ද යන්න ගැටලුවකි. විවාහයට පෙර හා පසු ප්‍රේමය පිළිබඳ නිර්වචන බොහෝ විට වෙනස් ය. ටිම්රාන් පවසන පරිදිම ජීවිතයේ විසල් බර නොදැනෙන ළපටි පෙම්වතුන්ට ප්‍රේමයේ නිවැරැදි නිර්වචන බොහෝ විට හමුවන්නේ නැත. මක්නිසා ද විවාහයට පෙර ප්‍රේමය රඳා පවත්නේ ලිංගික කුතූහලය හා රාගාශ්‍රිත ඇලීම මත ය. විවාහයෙන් පසුව ලිංගික කුතුහලය ඉවත්වී ඒ වෙනුවට එකිනෙකා අතර ගෞරවනීය හැඟීම් වර්ධනය වී විවාහයට පෙර තිබූ ප්‍රේමය අතික්‍රමණය වන්නේ ය. විවාහ ජීවිත තුළ ගැටුම් ඇතිවන්නේ මේ තුලනාත්මක පරිවර්තනය නොවන අවස්ථාවන්හිදී ය. ටිම්රාන් අප වෙත ගෙන එන කථකයා හා බිරිය අතර මේ තුලනාත්මක පරිවර්තනය සිදුවී හමාර ය.

“ඉස්පිරිතාලෙ ඉඳලම – මටත් පිරියක් නෑ ඒයි

බඩ හෝදලත් දවසනෙ – ඔයා පව්! උදේටත් කාල නැතැවැති

ඉතිං කන්නකො අනේ – මං ළඟත් කීයක් ද තිබුණා.”

ඇය පෙම්වතා “නූඩ්ල්ස්” කන විට “පීට්සා” කන ජාතියේ ගැහැනියක් නොවී ය. ඇය ද මිනිසුන් තිරිසනුන් කරන කුසගින්න යටපත් කර දරිද්‍රතාව මැඬ ප්‍රේමය ඔසවා තබා මුසාවාද දොඩන්නීය. “මටත් පිරියක් නෑ ඒයි.”

ප්‍රේමයේදී හඳුනාගත යුත්තේ වචනාර්ථය නොව ඒ වාච්‍යාර්ථයෙන් ධ්වනිත වන හෘදය භාෂණයයි.

“මං කහටෙකක් බොන්නං – ගෙදර ගිය ඉඩවරේ

බත් කටක් කෑහැකිනෙ”

“මටත් පිරියක් නෑ ඒයි – බඩ හෝදලත් දවසනෙ”

මොවුන් දෙදෙනාම තම තමන්ට කුසගින්න නොමැති බව හඟවයි. එහෙත් ඔවුන් දෙදෙනා ම අනෙකාගේ කුසගින්න දැඩිව විශ්වාස කරයි. එකිනෙකා ඔවුනොවුන්ට කෑමට ආරාධනා කරන්නේ ඒ නිසා ය. ඔවුන්ගේ මේ හෘදය සංවාදය භාවාතිශය වූවකි.

එහෙත් “අර්ථාතුරාණම් නගුරුර් නබන්ධුර්” ආර්ථිකය සොයා යන්නාට ගුරුවරයාට හෝ ඥාතියාටවත් සංවේදී විය නොහැකි ය.

“සෙල් පිළිමයක් මෙන් – නොරිස්සුම් බැලුම් ලයි

කැහැටු වේටර් කොලූ…”

වේටර් කොලුවාට මේ හද බසින් වැඩක් නැත. එහෙත් ඔහු ද සිටින්නේ මේ කියන පන්තියේ ම ය. කෙසේ නමුත් හෘදය සංවාදීව නිස්කාංසුවේ තීරණ ගැනීමට අප කාටවත් ඉස්පාසුවක් නැත. ලෝකය වේගවත්ව කැරකෙන්නේ ය. ඒ වේගයෙන් සමාජය වෙනස් වන්නේ ය. ඊට අනුගත නොවන්නා පරාජය බාරගත යුතු ය.

“ගේන්නකො ප්ලේන්ටී තුනක්! – කෙඳිරුවෙමි වේටර්ට ඉගිළුණා ඔහු සැණින්”

දැන් කාට කාටත් දෙදෙනාගේ ‘හැඹිලිවල තරම සිතාගත හැකිය. ‘පීට්සා’ සහ ‘නූඩ්ල්ස්’ කෑ පෙම්වතුන්ට දෙදෙනාගේ සාක්කුවල තරම සිතාගත නොහැකි වුණා ද? දෙදෙනාට සම කක්ෂයක සිට මොවුන්ට මෙන් සිතන්නට නොහැකි වුණා ද?

කුසගින්න දැනුණේ ශරීරයට ය. ඒ නිසා උදේටත් නොකා සිටි නමුත් කහට කෝප්පයක් පමණක් අපේක්ෂා කළ කථකයාට ප්ලේන්ටියක් සඳහා වියදම් කිරීමට සිත හදාගන්නට සිදු විය. රෝහල්ගතව සිට හරිහමනක ආහාරය නොගත් “මටත් පිරියක් නෑ” කියූ බිරියට ද ප්ලේන්ටියෙන් ම සැනසීමට සිදු විය. ඔබට මට නොපෙනුණු අහිංසක දරුවා ද ඒ පන්තියේ ම ය. ප්ලේන්ටි තුනකින් තුන්දෙනෙකුගේ කුස ගින්දර නිවාලිය නොහැක. එහෙත් ඔවුනොවුන් අතර ඇති අවබෝධාත්මක ගෞරවණීය ප්‍රේමය මගේ ද සිත පුරවන්නේ ය.

වේටර් කොලුවා අතින් අනෙක් මේස වෙත ගෙන යන රසවත් ආහාරයන් දැක දැක ඊට ගිජු නොවී කුසගින්න වැනි සහජාසයන් යටපත් කර ගෞරවනීය ප්‍රේමය ඉස්මතු කළ හැකි මෙවන් සොඳුරු පවුලක් කොතරම් නම් සුබ නිමිත්තක් ද? එහෙත් ඒ යථාර්ථයට මෙපිටින් සිට බලන කොයි කාටත් මේ සංසිද්ධිය මනසට ඇති කරන්නේ තදබල කම්පනයකි.

“ඉකි හඬක් ගිලගන්න – සිහින් සුසුමක් බිඳුණි යාබදින්

දයාවේ මුදු බැලුම් අප වටා දවටමින්

තුරුණු පෙම්වත් යුවළ මිදෙනු බැරි තැවුලකින්

අනුන්ගේ රිදුම් මුල් හොරාගෙන

තමන්ගේ ලෝකයේ පැළ කරන

ළපටි පෙම්වන්තයින් මනුතැවුල් ඉව කරන

මා හදේ රාමු විණ පෙමක මුනිවර මුහුණ”

ටිම්රාන් කවිය අවසන් කරන්නේ ය. එහෙත් මා මේ සටහන අවසන් කරන්නේ එතැනින් නොවේ.

“උඹයි කෙල්ලයි දෙන්න – මොනවහරි කාහල්ල”

“ඔයා පව්! උදේටත් කාල නැතුවැති

ඉතිං කන්නකො අනේ – මං ළඟත් කීයක් ද තිබුණා”

පෙමක මුනිවර මුහුණු දුටුවෙමි.

Related posts:

Comments

comments