තාජූඩීන් ඝාතනය – පොලිස් ලොක්කන් යළි රිමාන්ඩ්

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණයට අදාළ පරීක්ෂණ යටපත් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජ්‍යේෂ්ඨ පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ ඝාතනය සිදු වූ දින ජනාධිපති මැදිරියේ සිට නිකුත් වූ දුරකථන ඇමතුම් හා ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවයි.

එම පරීක්ෂණ වලදී ජනාධිපති මැදිරියේ සිට හම්බන්තොට කාල්ටන් නිවස අතර සම්බන්ධයක් තිබී ඇතැයි අනාවරණය කළ රජයේ නීතීඥවරයා මේ පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම කැනඩාවේ පරීක්ෂණ සඳහා යොමු කළ  තාජුදීන් ඝාතනයේ සී.සී.ටී.වී.දර්ශන පිළිබඳව වාර්තා ලැබී ඇති බව ප්‍රකාශ කළ රජයේ නීතීඥවරයා කියා සිටියේ එහි ඇතුළත් දර්ශන පැහැදිලි කර ගත නොහැකි බවට එම රසායනාගාරවලින් වාර්තා කර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන් ලබන 21 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.

එමෙන්ම අගතියට පත් පාර්ශවයේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් හිටපු ජ්‍යේෂ්ඨ පොලිස්පති අනුර සේනානායක මහතා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලැබීම පිළිබඳව ප්‍රශ්නයක් මතු කර සිටියේය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර අනුර සේනානායක මහතාට තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලැබීම අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.

එමෙන්ම 2003 වසරේ සිට මේ දක්වා අනුර සේනානායක මහතා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේද යන්න පිළිබඳවද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද එම නියෝගයේ සඳහන් කර ඇත.

Related posts:

Comments

comments