පාඨලී ගැන තීරණය මොරටුව සරසවිය අතේ

අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් කළ බව පැවසෙන මෝටර් රථයක් රාජගිරියේදී අනතුරට පත් වීමේ සිද්ධියට අදාළ ‘CCTV’ දර්ශන පරික්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත බාර දෙන මෙන් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ පිළිබඳ වාර්තාවක් ලැබීමෙන් අනතුරුව අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න තීන්දු කරන බවයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවෙකු ලෙස නම් කළ යුතු බව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අනතුරට සම්බන්ධ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු රණවක මන්ත්‍රීවරයාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසන්නේ මෙම සිද්ධිය හරහා කිසියම් පිරිසක් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන බවයි.

“මෙම සිද්ධියේ සාක්කිකරුවන් මුලින්ම පොලිසියට ලබා දුන් කට උත්තරයේ චම්පික ඇමතිවරයා පිලිබදව කිසිවක් සඳහන් කර නැහැ. එහෙත් එම පුද්ගලයින්ට ඉහල පෙලේ ප්‍රභූ පුද්ගලයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින් පසුවයි ඔවුන් රණවක ඇමතිවරයා මෙම සිද්ධියට පටලවා තිබෙන්නේ” නීතිවේදී ගුණරත්න සදහන් කළා.

කෙසේ වෙතත් පැමිණිල්ල නැවත ජුනි මස 15 වනදා කැඳවීමට නියම කළ අධිකරණ එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේ.

Related posts:

Comments

comments