මාලක සිල්වාට නයිට් ක්ලබ් තවදුරටත් තහනම්

හිටපු ඇමැතිවරයකු වූ මර්වින් සිල්වා මහතාගේ පුත් මනෝජ් මාලක සිල්වාට රාත්‍රී සමාජ ශාලාවලට ඇතුළුවීම වළක්වමින් පනවා තිබු තහනම ඉවත් කරන ලෙසට ඔහු කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා ඊයේ (18) තෙවන වරටත් ප්‍රතික්ෂේප කළේය.

බ්‍රිතාන්‍ය ජාතික යුවළකට බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලුම්ස් හෝටලයේදී පහරදීමකට අදාළ නඩුව ඊයේ (18) කැඳවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

සිද්ධියට අදාළ සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර මාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා මෙහිදී සිය සේවාදායකයාට අධිකරණය විසින් පනවා තිබෙන රාත්‍රී සමාජශාලා තහනම ඉවත් කරන ලෙසත් එසේ නොමැති නම් එම කොන්දේසිය ලිහිල් කරන ලෙස ඉල්ලිය.

සැකකරු දැනට ඇප මත සිටින බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එසේ සිටියදී ඇප කොන්දේසි ලිහිල් කර නැවතවරක් එවැනි සිද්ධියක් වුවහොත් එය අගතිදායක විය හැකි බව පැවසීය. මීට අමතරව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සමථයකට සූදානම් බවටද අධිකරණයට කරුණු දැක්වීය. පැමිණිල්ලේ නීතිඥ ශවේන්ද්‍ර රුද්‍රිගු මහතා පැවසුවේ තමා එවැන්නක් නොදන්නා බවත් සමථය පිළිබඳ කරුණු ප්‍රථමවරට ඊයේ (18) සැකකාර පාර්ශවය දැන්වූ බවය. සිද්ධිය නීතිපතිවරයා වෙත උපදෙස් ලබාගැනීමට 2015.02.10 කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනු යොමු කර ඇතත් මේ දක්වා නීතිපති උපදෙස් ලැබී නොමැති බවට අධිකරණයෙන් කරුණු වාර්තා කර තිබිණ.

රමේෂ් කුලතුංග , විස්කම් විමලරත්න, ප්‍රියන්ත උපසේන, දොන් තරිදු ලක්ෂාන් විජේසේකර, මනෝජ් මාලක සිල්වා , සරත් චන්ද්‍රසිරි හා ඉන්දික කුමාරසිරි යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2014.11.01 රාත්‍රී 1ට පමණ ඩේසි විලා ඇවනිවු බම්බලපිටිය රිදම් ඇන්ඩ් බ්ලුස් හෝටලය තුළ දී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහර දී තුවාල සිදු කිරීමට අදාළව මෙම නඩුව පවරා තිබිණ.

 

දිනමිණ

Related posts:

Comments

comments