***** නුඹට ගල් ගසන්නේ ශ්‍රී ලාංකීය සමාජයයි දයාබර සොයුරිය *****

අතිශ්‍ය මිලේච්ඡ දඬුවම් අතරින් කුරිරුම දඬුවමක් ලෙස පොළොවේ අඩක් සිටුවා මියෙනතුරු ගල් ගැසීම හැඳින්විය හැකි ය. මේ දඬුවම මැදිපෙරදිග රටවල කාන්තාවන් වරදෙහි බැ‍ඳුණු විට(තම ස්වාමියා නොවන අයෙකු සමග ලිංගිකව සංසර්ගයේ යෙදුණු විට ක්‍රියාත්මක වන නීතියකි.) මුස්ලිම් සමාජය තුළ කාන්තාවට හිමිවන්නේ අතිශය සීමාකාරී නිදහසක් පමණි. ඇඳුමෙන් පවා ඇයව සීමාකාරී ලෙස සිරකොට ඇත.
මැදපෙරදිග යනු ලොව මුල්ම මානව ශිෂ්ඨාචාරයන්ට උරුමකම්කියන, සශ්‍රීක ආරම්භයක් සහිත දේශයක් වන නමුත් අධිරාජ්‍යවාදයේ සහ ආගමික අන්තවාදී බෙදුම්වාදයෙන් පෝෂණය ලැබ, ලෝක බලවතුන්ගේ යටත්කිරීම් සහ යුධ නිර්මාණය කිරීම්වලට හසුව, එහි මානව සංවර්ධනය වෙනුවට මුල්‍යමය සංවර්ධනය පමණක් එම රටවලට ලබාදෙමින්, වර්තමානය දක්වා ම අධික ලෙස භෞතිකමය සංවර්ධනයන් උරුම වූ එහෙත් මානවීය ලෙස හුදු මස් පර්වත පමණක් බවට පත් වූ ජනතාවක් වෙසෙන ලෝකයේ එක්තරා කලාපයකි…..
එහි ඇති ඛණිජ සම්පත්වල ආදායම් අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝක බලවතුන්ගේ රටවල ප්‍රාග්ධන සුරැකුම් ලෙස ගබඩාවන අතර ඒ සදහා වන පොලිය ගෙවීම වශයෙන් ලෝක බලවතුන් විසින් එම රටවල භෞතික සංවර්ධනය සිදුකර දෙයි…..එහෙත්.…සුපුරුදු පරිදි ම, ආර්ථික ඝාතකයන් හරහා බිදවට්ටවා තම ආධිපත්‍යයන් යටතට ගත් මැදපෙරදිග රටවල දිනෙන් දිනම යුද්ධ නිර්මාණය කරමින්, අන්තවාදී අගමික ත්‍රස්ත සංවිධාන බිහිකරමින් දිනෙන් දින ම අන්ධ විශ්වාසයන්වල ජනතාව ගිළුවා තබා, එහි මානව සංවර්ධනය ඇතිවීමට ඉඩ නොතබා ම භෞතික සංවර්ධනයන් පමණක් සිදුකරමින් මිනිස්කම් නොමැති හිස් මස් පර්වත සහිත මිනිසුන් පමණක් බිහිවන දේශයක් බවට පත්කර, එම දේශයේ සම්පත් සදාකාලික තම ආධිපත්‍යයට නතුකොට තබාගැනීමට ලෝක බලවතුන් සමත් ව සිටී…..
එවැනි නොදියුණු සමාජයක ය ලංකාවේ තරුණියකට ද ගල්ගසා මරා දැමීමට නියම වන්නේ.
ලෝකයේ විවිධ දේශයන්වල, විවිධ සමාජයන්වල තත්වයන් වෙනස් ය.
අශෝක අධිරාජ්‍යයා විසින් සිදුකළ දීර්ඝකාලීන ආගමික උගුළේ සිරකෙරෙන
ශ්‍රී ලාංකික ජනතාවක් වන්නා සේම ද, ඉංදීය ආක්‍රමණයන්ගේ සැළසුම් හමුවේ තම ජාතිය පවා ඉංදියාවෙන් පැමිණියේ යැයි කියන්නට තරම් මානසික වශයෙන් මෙන් ම ජීවිතාත්මක වශයෙන් ම ද වහල්භාවයකට පත්ව එය යථාර්තයක් කොටගනිමින් වෙසෙන ලාංකීය ජනතාවක් ලෙස අප ජීවත්වන්නා සේ ම, ඉදින්… සෞදිය වැනි රටක ගැහැණුන්ට ගල්ගසා මරා දමන දඬුවමක් ක්‍රියාත්මක වෙනවා ය යන්න මහා අමුතු පුදුමය දනවන දෙයක් නොවේ…..
පුදුමය සහ අමුත්ත ඇත්තේ කොතැන ද?
අප රට නිදහස ලබාගත් රටක් ලෙස අපි පාසැලේ දී උගෙනිමු….
අප රට තරම් ලොව රටවල් අතරින් ස්වාභාවික සුන්දරත්වයක් සහිත රටක් වෙනත් නොමැති තරම් යැයි නිතර ම අපට අසන්නට ලැබේ…..
අප රටේ මිනිසුන් තරම් උසස් මිනිසුන් කොට්ඨාශයක් වෙනත් කවරම රටකවත් නොමැති බවද බොහෝ විට අපට අසන්නට ලැබේ….
අප රටේ ජාතිකත්වයන් අතරින් ද, සිංහල බෞද්ධ ජනයා තරම් උසස් වර්ගයක් ‍තවත් නොමැති බව ද මහා ආඩම්බරයෙන් නිතර ම ප්‍රකාශ කෙරේ….
එසේ නම් මේ උසස් ජාතිය විසින්, අර තරම් පහත් සමාජයක් වෙත අප රටේ කාන්තාන්ව වහල් සේවයට යවන්නට තරම් ඉඩ අවකාශයක් නිර්මාණය කෙරෙනු ලැබූයේ කෙසේ ද? නිවසක් තනාගැනීමට, දූ රුවන්ට ඉගැන්වීමට, ණය තුරැස් පියවාගැනීමට හෝ මේ ආදී කවරම හෝ ආර්ථික දරිද්‍රතාවයකින් ගැළැවෙන්නට යටකී මානව සංවර්ධනයන් අතින් දුර්වල ම සමාජයක් වෙත වහල් සේවය පිණිස කානතාවන් ව යවන්නට තරම් ඔබ අප විසින් වසර පහ හයකට වරක් බලයට පත්කළ සහ පත්කරමින් සිටින ප්‍රගතිශීළී, සිංහල බෞද්ධ ජාතිවාදී ආණ්ඩු විසින් පාර කැපූයේ සහ ඉදිරියටත් පාර කපන්නේ ඇයි?
එවැනි සමාජයක වාල්කම් සිදුකරන්නට යවනවා වෙනුවට අප රටේ සංවර්ධනය පිණිස එම කාන්තා ශ්‍රමය එක්කොටගනිමින් අප රට තුළදී ම ඔවුන්ගේ අවසන් හුස්මපොද හෙළන්නට කාන්තාවන්ට අවශ්‍ය මගපෙන්වීම සිදු නොකළ අප මුළුමහත් සමාජය ම විසින් හෙට දිනයේ දී ගල්ගසා මරාදැමෙන කාන්තාවට වගකිව යුතු නොවේ ද?
පරපීඩාකාමුකත්වය නමැති මානසික රෝගීතත්වය, මැදපෙරදිග මෙන් ම අනෙකුත්, අපරට වැනි නොදියුණු රටවල ජනතාවන් තුළ මන්සේ රජයන හෙයින් මෙවැනි සිදුවීමක් සිදුවූ විගස වහා ඒ පිළිබදව දුක් අදෝමනස්සයන් මුදා හැර සුපුරුදු පරිදි තම තමන්ගේ සාම්ප්‍රදායික වහල් සේවයේ නිරතවන ශ්‍රී ලාංකීය අප කවදා ද මේ සිදුවන අපරාධවල යථාර්තය තේරුම්ගෙන එය වෙනස් කිරීමට පෙළගැසෙන්නේ?
නුඹේ දරුවා ගැහැණු වුව ද පිරිමි වුව ද හෙට දිනයේ දී නුඹ නොසිතූ විරූ ලෙස ම මෙවැනි අසාධාරණකම්වලට නිබදව ම ලක්වීමට ඒකාන්ත වශයෙන් ම නියමිත ය….
ඉතින් නුඹ සූදානම් ද මෙහි ඵලය වෙනුවෙන් හඩාවැටෙනවා වෙනුවට හේතුව මුළිනුපුටා දැමීම ට? එය නුඹ සිදුකරන්නට කැමති වන්නේ අදද හෙට ද නැතිනම් තවත් අවුරුදු කිහිපයකට පසුවද යන්න මත, හෙට නුඹටත් මටත් මෙවැනි ඛේදයන් අසන්නට ලැබීම සිය දහස් ගුණයකින් වර්ධනය වීම හෝ අවසන්වීම තීරණය කෙරෙනු ඇත…..
ගල්පහර කන සොයුරියගේ වීඩියෝව නරඹා කිඹුල් කදුළු හෙළීමෙන් පමණක් නුඹට මනුෂ්‍යයෙකු විය හැකි ද? නුඹත් මමත් විසින් අනාගතයේ බිහිවන සහ දැණටමත් අපට දාව සහ අපගේ කුසවලින් බිහිව ඇති දුවා දරුවා වෙන්වෙන් මේ ආකාර මිනිස් ව්‍යසනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළගැසිය යුතු කාලය මෙය නොවේ නම් ඒ අන් කවදා ද?

– මනෝජ් සමරසිංහ –

Related posts:

Comments

comments