ඉතිහාසය රිපීට් වෙමින් පවතී. – Ravisha Thilakawardana

1994 චන්ද්‍රිකා ආණ්ඩුව පත් වුණේ 17 අවුරුදු පාලන සමයට එරෙහි බොහෝ දේ කියමිනි. බටලන්ද කොමිසම, සූරියකන්දේ ඇටකටු හෑරීමේ සිට තුනී ලෑලි සංස්ථාව, සෙවණගල සීනි ආදී නොයෙක් ගනුදෙණුවල දූෂණ වංචා සොයන බවට ශපථ කරමිනි. එහෙත් සිදු වූයේ තවලම් යාමය, පැකේජ් කියමින් ගෙනා අටපට්ටං විකාරය සමග සෙල්ලම් කිරීමය (හරියටම සිරිසේන 19 එක්ක සෙල්ලං කරපු විදියට. අන්තිමට ගහපු පදේකුත් නෑ. බෙරේ පළුවකුත් නෑ ) එහෙත් අර යටකී දූෂිතයන් කිසිවෙකුටවත් දඬුවම් නොලැබුණි. මන්ද යත් එහෙම දඬුවම් ලැබෙන්නේ නැත. ඔවුන් සියල්ලන්ම එකමදම්වැලකින් යා වුණු මිතුරු වැලකි. යම් පුරුකක් බිඳී ගියහොත් මුළු දම්වැලටම හානි වන බව සියල්ලන්ම දනී. ටික කලක් ගොංපාර්ට් දම දමා සිටි චන්ද්‍රිකා ආණ්ඩුව වැඩි කල් නොයාම නන්ද මැතිව් වැනි අය සමග පවා එක පැදුරේ නිදියන්න පටං ගන්ද්දී ශ්‍රී ලංකා කාරයන් සහ යූඇන්පී කාරයන් උනුන්ගේ දේශපාලනය වෙනුවෙන් මරා ගත්හ. ජෙප්පන් මොන මොනවාදෝ කල මුත් ඒවා ඉතිහාසයට වැදගත් වන්නේ නැත

දශක දෙකකට පසු යළිත් ඉතිහාසය රිපීට් වෙමින් පවතී. මහින්ද රජයේ දූෂණ ගැන පොත් පිටිං ලියූ චම්පික එම රජයේ වැරදි ගැන අප දන්නා දේ කියන්නැයි මධ්‍යස්ථාන හදද්දී ඇත්ත දේශපාලන ප්‍රමුඛතා පැත්තකිං තියා ආප්ප ප්ලේන්ටි වල මිල අඩු කරන සුකුරුත්තං ගොං පාර්ට් දාද්දී මේ කරන්න හදන්නේ මහජනතාවට දේවල් අමතක කරවන්නට උණුසුම යනතුරු කල් මරන එක බව නොතේරුණා නම් ඒ ගැන තවත් කල්පණා කර පලක් නැත.මැතිවරණ වේදිකාවල මිනීමරුවන් දූෂිතයන් තක්කදියන් ලෙස එකිනෙකාට චෝදනා කර ගත්තවුන් අද එකෙ මේසයේ වාඩි වී මොනවාදෝ අපට නොතේරෙන උභතෝකෝටික වූ ගැඹුරු ධර්මයක් ගැන සාකච්ඡා කරමින් සිටිති

මහින්ද සිරිසේන රනිල් එක පෙළට හිටගත්තත් වෙන වෙනම ඉඳ ගත්තත් උං හැමදාමත් එක පිළේය. අන්තිම ප්‍රතිඵලයෙන් ජය ගන්නා පිලේය. අප කල යුත්තේ ඒ පිල සදාකාලිකව ජයග්‍රහණය කරවීම සඳහා බයියන් ලෙසද ටොයියන් ලෙසද වෙන් වී ඇණකොටා ගැනීමය

Related posts:

Comments

comments