සුමිත්‍රා රාහුබද්ධගේ සිය සිය පත් සිය

සිංහල නවකතා ක්ෂේත්‍රයේ ප්‍රබල කඩඉමක වෙසෙන සුමිත්‍රා ‍රාහුබද්ධ‍ගේ නවතම නවකතාව වන්නේ ‘සිය සිය පත් සිය’ යන්නයි. නවතාව දිවියට බද්ධකරගන්නා සුමිත්‍ර්‍රා රාහුබද්ධ තමන්ගේ නවකතා විෂය විඥානය නව මඟකට යොමුකරලීම අතිශය ආනන්දයට, ආහ්ලාදයට හේතුභූතවන්නකි.

නවකතා නිර්මාණයේදී භාෂාව – තේමාව – දෘෂ්ටිය – සන්දර්භය – විඥානය – සංකේත භාවිතය ෂඩ්පැතිකඩාශ්‍රිතව ස්වකීය ඥානය විහිදවීමට ගත් ප්‍රයත්නයක් වශයෙන් ‘සිය සිය පත් සිය’ යන නවකතාව හැඳින්විය හැකිය.

දායාදගත විඥානයකින් පරිපූර්ණ වූ නවකතාකාරිය කිනම් දිසාවකට යා යුතුද යන්න කෙරෙහි ස්වකීය පරිකල්පනය මෙහෙයවීමෙන් නවකතා කලාවේ නවතාවක් මත රැ‍ඳෙන භූමිකාවට පිවිසි නවකතාකාරිය මානවීය ලක්ෂණයන් ප්‍රවර්තිත වී මිනිස් මනස උත්ප්‍රේරණීය තලයකට පිවිසෙන්නට බලපාන ප්‍රබල තලයට පත්වන නවකතාවකි.

සිත සැනසීම නවකතාවෙන් නියත වශයෙන් ම සිදුවන්නකි. එබන්දක් නවකතාවෙන් සිදු නොවන්නේ නම් එම නවකතාව සහෘදයන්ට බද්ධ වන්නේ නැත.

සහෘදයන්ගේ අතට ‘සිය සිය පත්සිය’ නවකතාව නෙතට ගෝචරවීමෙන් දිවිය සරු මඟකට යොමුවීම ප්‍රබල කඩඉමකි. තමාගේ නවකතා විඥානය විශාල්‍යාර්ථ තත්ත්වයෙන් ඉදිරියට පැමිණ සහෘද ගත – සිත – මනස සනසා ලන්නට ප්‍රබල සන්ධිස්ථානයකි.

යුග දිවියට ප්‍රවේශවන සම්භාව්‍ය සම්ප්‍රදායයන් විෂය කොටගෙන අපූර්ව ගුණය ස්වකීය නවකතාවනේ ධ්වනිත කරන්නට ගත් තැත ප්‍රශස්තය.

නවකතා ඥානය නවතම ප්‍රගමනීය තලයකට එක්වීමෙන් සිංහල නවකතා ක්ෂේත්‍රය නව මඟකට සුමිත්‍රා යොමුකිරීම අපූර්වතම සිද්ධියකි.

අපට බොහෝ නවකතා පරිශීලනය කරන්නට ලැබෙන සමයක සුමිත්‍රාගේ ‘සිය සිය පත්සිය’ නවකතාවෙන් ඒකාකාරී නවකතා දෘෂ්ටිය නවමඟකට යොමු කිරීම අතිශය වින්‍යාර්ථයකි.

සුමිත්‍රාට අවශ්‍යවන්නේ සිංහල නවකතා ක්ෂේත්‍රය නව මඟකට යොමු කිරීමය. ඇය අතින් කවදත් සිදුවූයේ එබන්ඳකි. සහෘදයන් නව මඟකට යොමු කිරීමත්, මනස සනසන්නට තමන්ගේ නිර්මාණය ආශ්‍රයෙන් සමාජයේ නොසන්සුන්තාවත් මතුකරලීම අභිප්‍රායයි.

නිද්‍රාශීලි සමාජය අවදිකිරීම නවකතාකරුවාගේ කාරිය නම් සුමිත්‍රා රාහු බද්ධ අතින් සිදුවූයේත් එබන්ඳකි. කතා සාරය මත රැ‍ඳෙන නවකතාව සමාජාභිවෘර්ධියට තදින් ම බලපාන්නකි.

නවකතාව වූ කලී සමාජය නව මඟකට යොමු කරන්නකි. ඒකාකාරි ගතානුගතිකත්වයෙන් මිදී නව මං පෙත් විවරකරලීමට කදිම කඩඉමකි. එම නවකතාව කාලත්‍රයට ම බලපාන්නකි. එක් සමයකට පමණක් නොව අතීතයට වඩා වර්තාමනයටත්, වර්තමානයට වඩා අනාගතයටත් තදින් ම ප්‍රේක්ෂක සමූහයාට බලපාන්නක් විය යුතුය. සුමිත්‍රාගේ ‘සිය සිය පත්සිය’ නවකතාවත් එබන් තලයකට ප්‍රවේශවන්නකි.

‘සිය සිය පත්සිය’ නවකතාවේ මෙසේ සඳහන් වෙයි.

‘අපේ මහත්තයා බොහෝ ම ගුණගරුකව රස්සාව කරන කෙනෙක් රුහුණුසිංහ අයියෙ. මං ඒ ගැන හුඟක් ආඩම්බර වෙනවා’ පියුමන්ති කිව්වෙ අපිට සල්ලිවලට වැඩිය ගුණගරුකකම වටිනවා කියන එක නොකියා. ගුණරුවන් එක ම එක සැරයක් දාරක රන්කැටියාට උණසන්නිපාතය හැදිලා ගෙවන ඉස්පිරිතාලෙක නැවැත්තුව වෙලාවෙ රුපියල් දහදාහක ණයක් ඉල්ලගත්තෙ රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ කෙනෙකුගෙන්. ඒක ණයක් නෙවෙයි කියලා දෙන්න ම දැනගෙන හිටියා. රන්කැටියා ගේ ජීවිතේ බේරගන්න කරපු ඒ මුදල් ගනුදෙනුව තමන්ගෙ හිතේ තුවාලයක් වගේ පෑරෙමින් තියෙනවා කියලා ගුණරුවන් නිතර ම පියුමන්තිට කිව්වා.’

(282 පිටුව)

මිනිසා කෙරෙහි පවත්නා ගුණගරුකභාවය මෙයින් නිරූපණය වෙයි. මානවීය ලක්ෂණ මතු කිරීම නවකතාවේ කාර්යභාරය නම් සුමිත්‍රාගේ නවකතාවෙන් හෙළිවී ඇත්තේ ද ඒ ස්වරූපයයි.

1955 විවාහ සම්ප්‍රදාය 2013 වන විට වෙනස් ස්වරූපයක් ගෙන ඇත. සමාජය සංකීර්ණ වීමත් සමඟ ම විවාහ සිරිත් – විරිත් හා සම්ප්‍රදායයන්වල වෙනසක් දක්නට ලැබේ. සුමිත්‍රාට ස්වකීය නවකතාවෙන් හෙළි කිරීමට අවශ්‍ය වූයේ මේ වෙනසයි.

ශූර නවකතාකාරිය තමාගේ විඥාන භාවිතාව පුළුල් වූ දෘෂ්ටියක පිහිටා රන්මලී ගේ චරිතය ආශ්‍රයෙන් විවාහක කාන්තාව කෙරෙහි පවත්නා ඉවසීම හා සංවේදිතාව ධ්වනිත කරයි. සමාජ සම්භාව්‍යතාවට පාත්‍රවන විවාහ මංගල්‍ය හුදෙක් ම සමාජ ව්‍යුහයට අතිශයින් ම බද්ධවිය යුතුය.

නවකතාකාරියගේ සමාජ විඥානය ආශ්‍රයෙන් මිනිසා කෙරෙහි මානවීය ගුණාංග පෝෂණය කරන්නට මහත් පරිශ්‍රමයත් දරා සමාජය යහමඟට යොමු කරන්නට වෙහෙසක් ගත් තැතත් ලෙස ද ‘සිය සිය පත් සිය’ නවකතාව හැඳින්විය හැකිය.

මනෝමූල භාවයෙන් මිදී විෂය මූල තත්ත්වයට පිවිසෙන නවකතාව සහෘදයන් යන යන තත්ත්වයට පත්විය යුතුය. සහෘද මනස සනසා සමාජ සංරක්ෂණයට මූලික හරයක් නවකතාවෙන් ප්‍රකට විය යුතුය. නවකතාවේ අතිශය සෝභමාන තත්ත්වය ගෙනහැර පාන්නේ සන්දර්භය ආශ්‍රයෙනි.

සංකේත භාවිතය ආශ්‍රයෙන් මතුවන නවකතා දෘෂ්ටිය නවකතාකාරිය ස්වකීය කෘතියෙන් පිළිබිඹු විය යුතුය. සුමිත්‍රාගේ නවකතාවෙන් කියා පාන්නේත් එයයි.

නවකතා නිර්මාණයේදී අනුභූති ආශ්‍රයෙන් ලබන පරිචය මත පිහිටා සහෘදයන් යන යන නිර්මාණයන් හෙළි කරන්නේය. රසඥතාව හෙවත් රස වෑහෙන තත්ත්වයට නවකතාව පිවිසිය යුතුය.

මිනිසාගේ ම‍‍නෝහාරිත භූමිකාව නවකතාවෙන් ධ්වනිත විය යුතුය. ඒ ගැන ස්වකීය දෘෂ්ටිය මෙහෙයවා සුමිත්‍රා රාහුබද්ධ කාලානුරූපව නව මං සොයා යාමට නවකතාවක් නිර්මාණය කිරීම ප්‍රශස්තකාරියකි.

Comments

comments