විධායකය අහෝසි නොවන ලකුනු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමේදී සහ පසුගිය මහ මැතිවරණයේදී මෛත්‍රී පාර්ශ්වය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව ඉටු නොකොට එයට සංශෝධන පමණක් ඉදිරිපත් කොට විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යෑමේ සූදානමක් ප්‍රධාන පක්ෂ දෙකට ඇතැයි වාර්තා වේ.

පසුගිය 08 වැනිදා රැස්වුණු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්මත කරගත් යෝජනාවලියේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ පාර්ලිමේන්තුවට වගකියන අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ස්වකීය බලතල ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාවක් සකස් කරන බවයි.

ම යෝජනාව පිළිබඳව කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික අකිල විරාජ් කාරියවසම් පැවසුවේ තමාට වැටහෙන අන්දමට එම යෝජනාව අනුව ජනාධිපතිවරයා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට වගකිවයුතු බවත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කළයුතු බවත්ය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි වන බවත් ජනාධිපතිවරයාගේ බලතල සීමා කළත් ජනාධිපතිවරයාට යම් බලතල ප්‍රමාණයක් ලබාදිය යුතු බවත් ඔහු පැවසීය.

වාර්තා වන ආකාරයට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අදාළ යෝජනාව සම්මත කිරීම මිස ඔවුන් අදහස් කරන ජනාධිපතිවරයා පත්කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කර නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කිහිපදෙනකු සමඟ පසුගිය 06 වැනිදා පැවති රැස්වීමකදී ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධන පමණක් සිදුකරන බව ජනාධිපතිවරයා පැවසීයැ’යි ශ්‍රීලනිප ප්‍රබල ඇමතිවරයෙකු රාවය සමඟ පැවසූ අතර 07 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදීද ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ඒ බව පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති කිහිපයක් වෙනස් කිරීමට නම් ජනමත විචාරණයක් අනිවාර්ය වන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එම වගන්ති අහෝසි වන නිසා ජනමත විචාරණයක් නොපවත්වා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යවස්ථාවට සංශෝධන පමණක් ගෙන ඒමේ උත්සාහයක්ද පවතින බවයි.

ජාතික ආරක්ෂාවට විධායක ජනාධිපතිවරයාගේ බලතල පැවතිය යුතු බවත් එම නිසා විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යායුතු බවත් ශ්‍රීලනිප කණ්ඩායමේ අදහස බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ව්‍යවස්ථාව පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව විසින්ද මෙම අදහස ඉදිරිපත් කර තිබුණි. ප්‍රධාන පක්ෂ දෙකට අමතරව ජාතික හෙළ උරුමයද විධායක ජනාධිපති ක්‍රමය බලතල අඩුකර පවත්වාගෙන යායුතු බවට අදහස් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද මෙහෙයුම් කමිටුව විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට එකඟ වී ඇත. ජනාධිපතිවරයා ඍජු ඡන්දයෙන් නොවන වෙනත් ක්‍රමවේදයකින් හෝ පාර්ලිමේන්තුව මගින් පත් කළ යුතු බවට එහි එකඟතාවක් ඇතැයි වාර්තා වේ. රාවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන් අහෝසි කළ යුතු බවත්, තම පක්ෂයට පෙනී යන ආකාරයට ප්‍රධාන පක්ෂ දෙක එය අහෝසි නොකර සිටීමට උත්සාහ කරන බවත්ය.

 

රාවය

Comments

comments