ලසන්ත !! – රුවන් නෙලූ

 

උදුරා ගෙන ගොසින් අට අවුරුද්දය
කරපිට නැඟි එවුන් එගොඩ ගොස් දෑවුරුද්දය
වාසිය පිණිස මිස එගොඩ වු පසුව
ආපසු නොබැලීම පුරුද්දය
සීතල පොළව යට බොරළු කැටයකින් හෝ
ඇත්ත ම ලිවිය හැකි නම්
නිහැඬියාව ට එද විරුද්ධය

ලසන්ත,

චීත්තෙන් බෙලි කපන උන් ළඟ
මුල් අවිය නුඹෙ මිනියමත් විය
මිනී මරුවන් සොයා යන කළ
‘චිත්ත ධෛර්යය’ යළි හරස් විය
චීත්තයකින් විලි වැසෙන මුත්
මේ ‘ධෛර්යෙන්’ හෙළුව එළි විය
බෑවු බළලුන් වඳුරු කොස් ඇට
රැකෙද්දී නුඹ අපට නැති විය

“මේ තරම් මිනි මැරෙන රටකට
මේ ලසන්ත ම කවුද ?” සිනහය
ඒ තරම් අඩු ලන්සුවක් තැබු
ගෝතයා අදටත් නිදැල්ලෙය
නීතියත් බැඳි දෑස චපලය
බලය ඇති තැන දණින් වැටුණිය
තූ නොදෝකින් පකඩයින් රැළ
එදා වෙනම ය – මෙදා එකට ය !

ලසන්ත,

බේකරි හන්දියට මතකයෙ පාර දිගේ
පා කර එවමි සුසුමක් හද රැඳුණු මගේ
මේ කර නොමැති හරියෙහි පාපයෙහි වගේ
මා කර මත ද කොටසකි ඉතිරිය සැමගේ …………….. !!

නීරස, තුච්ඡ, නින්දිත කතාවක් රස ගැන්වුමට කිසිදු වුවමනාවක් මා තුළ නොමැත. උදෑසන පටන් හද පෙළන සිතුවිලි මාරුතයක් ඉදිරියෙහි අකුරු වැළක් අතහැරියා පමණි. මේ, අට වසරකුත් එක් දිනකට පෙර මේ සිනහවෙන් ම මුව සරසා ගෙන හුස්ම ගත් පණ තිබුණු මිනිසෙකි. ඔහුට ද ඔහු මෙන් තවත් දහස් ගණනකට ද යුක්තිය ඉටු කිරීම පමා කෙරෙණා දිනක් පාසා අපි ඇවිදින මළ කඳන් බවට පත් වෙමින් සිටින්නෙමු. මෙහි සත්‍යාසත්‍ය තාවය ඉතිහාසය විසින් ඔප්පු කරනු ඇත. 2017 ජනවාරි 08 වැනි දින රාත්‍රී 08.36ට මෙය ලියා තැබීමී.

¬ රුවන් නෙලූ

Comments

comments