යෝෂිත ඇතුළු පිරිස යළි රිමාන්ඩ් – බරපතල වැරදි පහක්

* රජයේ දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කළ බව පෙනී යනවා

– මහේස්ත්‍රාත් කියයි

* රජය සතු වාහන 2ක් භාවිත කරලා

* සමාගම, ජනපති කාර්යාලය කුලියට ගත් ෙගාඩනැගිල්ලක

* ජනපති ලේකම් කාර්යාලයේ සේවකයන් 2ක් සමාගමේ වැ‍ඩට

උපයා ගත් ආකාරය තහවුරු කළ නොහැකි අයුරින් සී. එස්. එන්. මාධ්‍ය නාලිකාව ආරම්භ කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධව රක්ෂිත භාරයේ පසු වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, එම නාලිකාවේ විධායක අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග ඇතුළු සැකකරුවන් පස්දෙනා රජයේ දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බව පෙනී යන්නේ යැයි ඊයේ (11) සඳහන් කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා සැකකරුවන්ගේ ඇප අයදුම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කළේය.‍‍

තවද සැකකරුවන් පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදවල් සිදුකර ඇති බව ද විනිසුරුවරයා ඊයේ (11) තීරණය කළේය.

සැකකරුවන් පොදු දේපළ පනතේ 5 (1) හා මුදල් විශුද්ධීකරණ පනතේ 03 (1) 8 (අ) සමඟ කියැවෙන බව පනතේ 3 (2) හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 101, 113, 386, 389, 452 හා 453 වගන්ති යටතට වැටෙන වරදවල් සිදුකර ඇති බව ද විනිසුරුවරයා සඳහන් කළේය.සැකකරුවනට ඇප නියම කළහොත් මෙම නඩුවට අදාළ සාක්කි ඉවත් කිරීමට හෝ සාක්කි විනාශ කිරීමේ අවදානමක් ඇති බව ද ‍ ඊයේ (11) නිගමනය කළ විනිසුරුවරයා සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු මඟින් අසාමාන්‍ය අවස්ථාවලදී සැකකරුවන්ට ඇප නියම කිරීමට අදාළ හේතු අධිකරණයට නොපෙනෙන බව ද සඳහන් කළේය.

එබැවින් අසාමාන්‍ය අවස්ථාවලදී සැකකරුවන් ඇප පිට මුදාහරින ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ විනිසුරුවරයා මෙම නඩුව ඇප පනතේ විධිවිධානවලට අදාළ නොවන බව ද තීරණය කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ, සී. එස්. එන්. නාළිකාවේ විධායක අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග, එහි අධ්‍යක්ෂක රොහාන් වැලිවිට, එම නාළිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වූ කවිෂාන් දිසානායක, අශාන් ප්‍රනාන්දු යන සැකකරුවන් එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.‍‍

නඩුව ඊයේ (11) කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර බස් රථයෙන් අධිකරණයට රැගෙන ආ මෙම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පෙර දින මෙම නඩුව සම්බන්ධව අධිකරණයට දැක්වූ කරුණු අනුව නඩුවේ සැකකරුවන්ට ඇප සම්බන්ධව නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව අද (11) දිනට කල් තැබූ බව සඳහන් කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා එම නියෝගය ප්‍රකාශයට පත්කරන මෙන් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේ අධිකරණයේ කටයුතු විනාඩි පහකට කල් තැබූ විනිසුරුවරයා ඉන් අනතුරුව නැවත අධිකරණ කටයුතු ආරම්භ කර මෙම නඩුව කැඳවූ විනිසුරුවරයා සැකකරුවන්ගේ ඇප අයදුම් ප්‍රතික්ෂේප කරන බවට ප්‍රකාශ කළේය.

මෙම නඩුවේ 06 වන සැකකාරිය ලෙස නම් කර ඇති හෝර්ටන් පෙදෙස කොළඹ 07, සාසියා ඉල්හාම් ෂහුන් කරුණාජීව නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇත.

තවද නඩුවේ 08 වන හා 09 වන සැකකරුවන් ලෙස එල්. ඕ. එල්. සී. (LOLC) ආයතනය හා සී. එස්. එන්. (CSN) ආයතනය කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් නම් කර තිබූ අතර අධිකරණ සිතාසි මත එම ආයතන දෙක නියෝජනය කරමින් නීතිඥවරු ඊයේ (11) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු රථයක් ද, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයට අයත් රථයක් ද, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පුද්ගලික සමාගම (CSN) භාවිත කර ඇති බව පෙනී යන බවත්, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් පුද්ගලික සමාගමේ කටයුතු ජනාධිපති කාර්යාලය මඟින් කුලියට ලබාගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් ඇති බව නිරීක්ෂණය වන බව විනිසුරුවරයා සිය ඇප තීන්දුවේ සඳහන් කර ඇත.

තවද ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත සේවකයන් දෙදෙනෙක් කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක්ස් ආයතනයේ සේවය කර ඇති බවත් එම සේවකයන්ගේ හිඟ වැටුප් ද ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ගෙවා ඇති බවත් සඳහන් කළ විනිසුරුවරයා එමඟින් සැකකරුවන් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බව පෙනී යන බව පැවසීය.‍‍ඒ අනුව සැකකරැවන් කළ මෙම වරද පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදක් බවට තමා තීරණය කරන බවත්, එම පනතේ විධිවිධානවලට මෙය අදාළ වන බවට තීරණය කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.‍‍

ගිණුම් කටයුතු සම්බන්ධ ජනරල් සටහන් හා මුදල් පොත් ලබා දෙන ලෙස අධිකරණ නියෝග ලබා දී තිබුණ ද ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අධිකරණ සෝදිසි වරෙන්තු මත අදාළ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් ආයතනය ‍සෝදිසි කර එම ලේඛන ලබාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදුවූ බව සඳහන් කළ විනිසුරුවරයාට ඒ ක්‍රියාකලාපය අනුව සැකකරුවන් සාක්කි ඉවත් කිරීමට හෝ විනාශ කිරීමේ අවදානමක් ඇති බව ද සඳහන් කළේය.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් සමාගම සෝදිසි කිරීමේදී අත්අඩංගුවට ගත් EMAIL BACKUP MR YOSHITHA යනුවෙන් සඳහන් සී.ඩී. තැටියේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට යොමු කළ බවත් එහි සඳහන් ඊමේල් 4926 ක් හා එයට අමුණා ඇති ලේඛන 12000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් මඟින් ඊයේ (11) විනිසුරුවරයාට දන්වා සිටියේය.

‍තවද සැකකරුවනට ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශන සඳහා බාධාවක් ඇති විය හැකි බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට එම වැඩිදුර වාර්තාව මගින් ඉල්ලා සිටියේය.

2011 වසරේ සී. එස්. එන්. සමාගම එල්. ඕ. එල්. සී. සමාගමෙන් රුපියල් මිලියනය 50ක් ඉල්ලා තිබෙන බවත් වෙනත් සමාගමක් එල්. ඕ. එල්. සී සමාගමේ තැන්පත් කර තිබූ මුදලක් සුරැකුමක් ලෙස තබා සී. එස්. එන්. ආයතනයට රුපියල් මිලියන 50 ලබා දී ඇති බවත්, එය එල්. ඕ. එල්. සී. සමාගමේ සාමාන්‍ය ක්‍රියාදාමය බවත් එම සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පවසා සිටියේය.

එසේ මුදල් ලබාදීමේ ක්‍රියාදාමයේ වරදක් සිදුවූවා නම් සමාගම අධීක්ෂණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ ගැන දැනුවත් කරන බවත් මෙහිදී එසේ සිදුව නැති බවත් පැවසූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධිය සම්බන්ධව එල්. ඕ. එල්. සී. සමාගම නම් කිරීමට අදාළ කරුණු ඇතුළත් විස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර වාර්තා මගින් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඉදිරි දිනයේදී ඒ සම්බන්ධව සංක්ෂිප්ත වාර්තාවක් තමා අධිකරණයට ඉදිරිපත් කරන බවත් රජය නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විනිසුරුවරයාට පැවසීය.

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම පිහිටුවීමට මුදල් උපයාගත් ආකාරය තහවුරු කළ නොහැකිවීමෙන් මුදල් විශුද්ධීකරණ පනත හා ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත මූලික කරුණු ඉදිරිපත් කර තිබුණි.

සී. එස්. එන්. ආයතනය විසින් මෙරට මූල්‍ය ආයතනයකින් ණය මුදල් ලබාගෙන ඇති බවත් එය ලබා ගැනීමට විදේශ සමාගමක ස්ථාවර තැන්පතුවක් ඇපකරයකට තබා ඇති බවත් අදාළ මාධ්‍ය ආයතනය එම ගෙවීම පැහැර හැර ඇති බවත් එම මුදල් ගෙවා ඇත්තේ විදේශ සමාගමක් බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

ඉන් අනතුරුව සී. එස්. එන්. ආයතනය සතු නිශ්චල , චංචල හා සියලු දේපළ සම්බන්ධ අධිකරණය මගින් තහනම් නියෝගයන් නිකුත් කර තිබුණි.

එසේ තිබියදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 30 වැනිදා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු ඊයේ (11) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

එදින සැකකරුවන් වෙනුවෙන් කළ ඇප අයදුම් සම්බන්ධව තීන්දුව ප්‍රකාශ කිරීමද ඊයේ (11) ට නියම කර තිබුණි.

නඩුව කැඳවීමට පෙර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ යන මහත්වරුන් අධිකරණ ශාලාවේ අසුන් ගත්තේය.

එසේම හිටපු මෙන්ම සිටින මැති ඇමැතිවරු විශාල පිරිසක්ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන්ද අධිකරණ ශාලාවට පැමිණ සිටියහ.

අධිකරණ ශාලාව වෙත පැමිණි මැති ඇමැතිවරු හා හිතවතුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අසුන්ගෙන සිටි ස්ථානයට පැමිණ ඔවුන් සමඟ කතාබස් කරනු දක්නට ලැබුණි.

නඩු කටයුතු අවසානයේ අධිකරණ ශාලාවෙන් පිටව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීය.

ජනාධිපති නීතීඥවරුන් වන ජයන්ත වීරසිංහ, කාලිංග ඉන්දතිස්ස යන මහත්වරු හා නීතිඥ කාංචන රත්වත්ත, ගනේෂ් ධර්මවර්ධන, කිංකිනි නෙල්සන්, ශාන්තලාල් විජේසිංහ හර්ෂණ නානායක්කාර යන මහත්වරු ඇතුළු නීතිඥවරු මඬුල්ලක් සැකකරුවෝ වෙනුවෙන් පෙනී සිටියහ.

රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

 

දිනමිණ

Comments

comments