යහපාලනභාරය රන්ජන් රාමනායක හා නිමල් බොපගේට පවරමු

යහපාලන ආණ්ඩුව, දුප්පත් ජනතාවගේ තටු කපමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට බෙදා ගනිමින් සිටියි. ඒ බෙදිල්ලෙන් ආණ්ඩුවේ තරාදිය අසමතුලිත වී ඇත. ඒ තරාදියේ ජනතාව සිටින තට්ටුව ඉස්සෙන වේගය බලා සිටිය නොහැකි තරම් අනතුරුදායකය.
එය පාලනය කිරීමට මෙතෙක් කිසිවෙකු මැදිහත් වුණේ නැත. බදු ගසමින් ආණ්ඩුවේ භාණ්ඩාගාරය පුරවන මුදල් අමාත්‍ය රවී කරුණානායක මන්ත්‍රීන්ට පහසුකම් දෙන මුවාවෙන් ගජ මිතුරු සමාගම් තර කරමින් සිටියි. ඊට එරෙහි වන මන්ත‍්‍රීන්ට සන්තෝසම් දෙමින් ඔවුන් හිලෑ කිරීමට සැරසෙයි. ඊට එරෙහිව ක්‍රියා කළ ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ ගෙදර යවන්නැයි මන්ත්‍රීන් 58 දෙනෙකු ලිපියකින් ඉල්ලා ඇත.
ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ ගෙදර යැවීමට රජය තීරණය කළ බව පසුගිය මැයි මාසයේ දවසක ලංකාදීප පුවත්පත රටට හෙළි කළේය. ඒ පුවත බොරු විය. ඒ ජනමාධය ලේකම් නිමල් බෝපගේ කුළී කාර් ව්‍යාපෘතියට අනුමැතිය නොදෙන බව පසුගිය බදාදා ලංකාදීප මුල් පුවත හෙළි කළේය. යහපාලන ආණ්ඩුව යනු රනිල් වික‍්‍රමසිංහ නොවන බව කාලය විසින් තහවුරු කරයි. මැති ඇමතීන්ට තවත් පහසුකම් අවශ්‍ය නැති බව එජාප නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියයි. එහි තේරුම නිවැරදි මිනිසා නිමල් බෝපගේ මිස, රනිල් වික‍්‍රමසිංහ නොවන බවය. ආණ්ඩු මාරු වුනාට ගසාකෑම නතර වී නැත. මනාපයෙන් පත්වූ අරක්කු බාර්කාරයන් කුඩුකාරයන් නිමල් බොපගේට මෙන්ම රන්ජන් රාමනායකට එරෙහි ව පෙත්සම් අත්සන් කරනු ඇත.
මන්ත්‍රීන්ට පහසුකම් සලසන මුවාවෙන් සැලසුම් කළ මහා සල්ලි මංකොල්ලයට කිසිවෙකු ඉඩදිය යුතු නැත.  දැන් ඒ ව්‍යාපෘතිය අනුමැතියට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග වෙත යවා ඇත. ඒ අතර, නැවත රනිල් මේ සඳහා අතුරු කමිටුවක් පත් කර ඇත. ඒ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවි කරුණානායක, අමාත්‍ය සරත් අමුණුගම යන සිව් දෙනාගෙන්  සමන්විතය. මේ සිව් දෙනාගෙන් මෛත්‍රී සහ සරත් අමුණුගම දෙදෙනාම පවිත‍්‍ර මිනිසුන් වෙති. නිමල් බෝපගේ විසි කළ කුළී කාර් ගැහිල්ල ගැන නැවත සලකා බලන්න රනිල් වික‍්‍රමසිංහ, රවී කරුණානායක සූදානම් වුනාට මෛත්‍රීපාල සිරිසේන, සරත් අමුණුගම ඒ කිලිටි ලේඛනය අතට ගතයුතු නැත. ඩයස්පෝරාවට මුවා වී රාජපක්‍ෂලා රට විනාශ කළහ. රෝයල් කොලීජියට මුවාවී රනිල්ලා රවීලා ගසා කති. නිදහස් අධ්‍යාපනයෙන් උස් මහත්වූ නිමල් බෝපගේ මෙන් රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රය මීට එරෙහි විය යුතු වේ. ජනවාරියේ රාජපක්‍ෂලා පළවා හැරිය හැට දෙලක්ෂයක් ජනතාව ඔවුන්ට ආරක්‍ෂාව සපයනු  ඇත.
රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු දේශපාලනඥයාගේ සාක්කුවට වැටී බොහෝ වංචා දූෂණවලට අනුමැතිය දෙමින් තම සාක්කුද පුරවා ගත් බවට සාක්ෂි බෙහෝය. අද සමහරක් දෙනා ඒ නිසාම මාංචු සහිතව උසාවියෙන් හිරගෙදරටද හිරගෙදරින් උසාවියටද ගමන් කරමින් සිටිත්. ඔවුන්ගේ සේවාව ලබා ගත් දේශපාලනඥයන් මාංචු සහිතව උසාවියෙන් හිරගෙදරටද හිරගෙදරින් උසාවියටද යන්නේ අත් ඔසවා පෙන්වමිනි. හරියට කියුබානු විප්ලවය කොට බැටිස්ටා පාලනය විසින් සිරකළ ක‍්‍රැස්තෝ ගියා ආවා වාගේය. එහෙත් අර රාජ්‍ය නිලධාරීන්ගේ අඹුදරුවන්ට පාරේ යාමට නොහැකිව ඇත.
නිමල් බෝපගේ යනු කලක් පරිපාලන සේවා නිලධාරියෙකු ලෙසද, කලක් මහින්ද රාජපක්‍ෂලා සමග දේශපාලනය කළ කෙනෙකු ලෙසද අත්දැකීම් ඇත්තෙකි. අගමැති රනිල් වික‍්‍රමසිංහ බෝපගේට තෝරා ගැනීම් දෙකක් පිරිනමා තිබිණ. එක්කෝ ව්‍යාපෘතිය අනුමත කරමින් අත්සන් කළ යුතුවේ. නැතහොත් අස්වී ගෙදර යා යුතුවේ. බෝපගේ කීවේ අත්සන් කරන්නේවත් ගෙදර යන්නේවත් නැත කියාය. ඔහු ඉහත කී අර්බුදයේදී පෙන්වූ අවංකභාවය අප අගය කළ යුතුවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රමුඛ සිව් පුද්ගල කමිටුව පත් කළේ ආචාර්ය සමරතුංග කර ඇරිය පසුවය. බැඳුම්කර වංචාව සැලවූ වහාම ඒ ගැන පරීක්‍ෂණ කරන බවට ජනාධිපති මෛත්‍රී නිවේදනයක් නිකුත් කළේය. පුහුල් හොරා කරේ ගෑවුණ අළු පිසදැම්මා සේ රනිල් වික‍්‍රමසිංහ ඊට පළමුව කමිටුවක් නම් කොට රටේම සැකයට භාජන විය. විවිධ දේශපාලන හේතු මත බැඳී සිටින රනිල් වික‍්‍රමසිංහ මේ කමිටුවට ජනාධිපති නම් කළේ මෛත්‍රී කොටු  කිරීමට විය හැකිය. එහෙත් වර්තමාන ජනාධිපති මහින්ද මෙන් තක්කඩියෙකු සොරෙකු නොවේ. මෛත්‍රී තම ප‍්‍රමාණයෙන් පිටට නොයනු ඇත.  ඡන්දෙට සිල් රෙදි බෙදුවේ තක්කඩිකමටය. දැන් එය අපරාධ නඩුවකි. වීරකැටියේ සොහොන බැඳීම තක්කඩිකමකි. දැන් ඒ සල්ලි ආපසු ගෙවීමට සිදුවී ඇත. මේ පූර්වාදර්ශ කියන්නේ විධායක ජනාධිපතිටද සීමාවක් පවත්නා බවය. ආචාර්ය සරත් අමුණුගම මෙහිදී අවශ්‍ය මැදිහත්වීම කරනු ඇත. ඔහු සිවිල් නිලධාරියෙකි. පටිපාටීන් හඳුනන කීර්තිමත් රාජ්‍ය සේවකයෙකි. රාජ්‍ය නිලධාරීන් ප‍්‍රාණ ඇපයට තබා සෙල්ලම් කළ රාජපක්‍ෂ ක‍්‍රමය ජනවාරියේ අවසන් වී නැත. බැඳුම්කර සෙල්ලම, කුලී කාර් ගැහිල්ල ඊට නිදසුන් වේ. බැඳුම්කර සිද්ධියේදී  අර්ජුන් මහේන්ද්‍රන් මෙහෙයවන ලද්දේද මෙසේ විය හැකිය. නිමල් බෝපගේ රාජ්‍ය නිලධාරීන් ප‍්‍රාණ ඇපකාරයන් කිරීමට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇත. සමහර විට ඔහු ඊට බිලිවිය හැකිය. එහෙත් බෝපගේ අභ්‍යාසය රාජ්‍ය සේවයේ පැවැත්ම පිණිස යහපත් මග පෙන්වීමක් කර ගැනීමට නිලධාරින් ක්‍රියා කළ යුතුව ඇත. සත්‍ය ලෙසම බෝපගේ මේ අභියෝග කළේ යහපාලනයට නම් නොවේ. ජනවාරියේ සිවිල් සමාජය අපේක්‍ෂා කළ පරමාර්ථ වෙනුවෙන් පෙනී සිටිමකි. අග‍්‍රාමාත්‍යවරයා මෙහිදි යම් අත්දැකිමක් ලැබුවා යයි අප විශ්වාස කරමු. දැනගත යුතු, ඉගෙන ගත යුතු දේ කාගෙන් හෝ දැන ඉගෙන ගැනීම මහත්තුරුකම බව කවුරු කවුරුත් මතක තබාගත යුතුව ඇත.
විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් මෙහිදී ප‍්‍රවේශම් විය යුතුවේ. උස්සවීම, හොඳ නාමය වෙනුවෙන් ජනතාවගේ සම්පත් කොල්ලකෑමට එරෙහි විය යුතුව ඇත. බෝපගේට හැකි නම් තමුසෙලාට බැරි ඇයි ? හොරකම් නොකරනු කීමට සිවිල් සමාජයට ශක්තිය ලැබී ඇත. අප නිමල් බෝපගේට මෙහිදි ආචාර කර සිටිමු.
සමහර නිලධාරීන් බෝපගේ කපා ලේකම් වීමට, පවත්නා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනු ඇත. සමහර නිලධාරීන් රාජපක්‍ෂ ආණ්ඩුව රැක්කේද එහෙමය. එහෙත් නිලධාරීන් ප‍්‍රතිඥා දී සිටින්නේ ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික ජනරජය වෙනුවෙනි. ඒ රජය යනු ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවය. එහි කිසි තැනක හොරකම නීතිගත කර නැත. භාණ්ඩාර බිල්පත් වංචා කොට මාධ්‍ය ආයතන පටන් ගැනීම අනුමත කර නැත. අනුරාධපුර, පදවිය කෙළවරේ දුක් විඳින මිනිසුන්ද මේ  රට වෙනුවෙන් ඡන්දය දී ඇත. කොළඹ පාසලක පිස්සන්ට රට විනාස කිරීමේ අවසරය ඒ ව්‍යවස්ථාවෙන් සහතික කර නැත. නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ගිය රාජ්‍ය නිලධාරීන් මේ රට වෙනුවෙන් අවදානමක් ගැනීමේ යුතුකමක් ඇත. රට වෙනුවෙන් අද සීරුවෙන් සිටින නිමල් බෝපගේට හෙට ගෙදර යන්න කීවොත් …………..? ඔහු ගෙදර යන්නේ විශ‍්‍රාම වැටුපක් හෝ නැතිවය. එහෙත් මුදල් ආචාර්ය සමරතුංගට රාජ්‍ය සේවය නිසා ලැබී ඇති දේ බොහෝය. මහත්තුරු යනු යාන-වාහන පිරිවරා ගත් පංචස්කන්ධයක් නොවේ. යහපත්කමය. මේ වනවිට මන්ත්‍රීන් 58 දෙනෙකු නිමල් බෝපගේ එළවීමට පෙළ ගැසෙති. එහෙත් රන්ජන් රාමනායක, මැති ඇමති වැටුප් දීමනාවලට එරෙහිව කතා කරයි. කඳබඩ ඇති හැම එකාම මිනිසුන් නොවෙති. මේ වනවිට රනිල් වික‍්‍රමසිංහ, ශාන්ත බණ්ඩාර ඇතුලු මන්ත්‍රීන් 58 ක් ලවා නිමල් බෝපගේ ගෙදර යවන පෙත්සම අත්සන් කර හමාරය. ඒ සමග රනිල්ගේ බලයේ සිටින දෑ අවුරුදු කාලයද ඉක්ම යමින් පවතින බව අර මන්ත්‍රීන් 58 මතක තබා ගත යුතුය. 2001 දී ගාමිණී අතුකෝරාල උදුරා දුන් ආණ්ඩුව චොක්සි, මාරපන නිසා නැතිකර ගත් රනිල් මෙවර රවී කරුණානායක, මලික් සමරවික‍්‍රම සමග සෙල්ලම පටන් ගෙන ඇත.
යහපාලනය නිර්මාණය කළ මිනිසුන් දෙදෙනා මෛත්‍රී හෝ රනිල් නොවේ. සමහර විට රන්ජන් රාමනායක සහ නිමල් බෝපගේ විය හැකිය.

|චන්ද්‍රසිරි සෙනෙවිරත්න

Comments

comments