මහින්ද මහත්තයා ලස්සන ගෙයක් හැදු හැටි එදා ඇමති චම්පික හෙළිකරයි

රාජපක්ෂලාගේ ආර්ථික විද්‍යාඥ කුක්කෝ කෑ කෝ ගසමින් සිටියද මහින්ද ලස්සන ගෙයක් හැදුවේ මාතෘ භූමිය නැමති ඉඩම උගස් කොට යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

රාජපක්ෂ පාලන සමයේ රට ලස්සන නිවසක් බවට පත්කළ නමුත් වර්තමානයේ රට ණය ගැතිවී, සංවර්ධනය බිඳවැටී, ආණ්ඩුව ණය ගැනීම පමණක් සිදු කරන බව ඒ මහතා කියයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(22) කළුතර නව පොදු වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන සංවර්ධනය ආදායම් උපදවන සංවර්ධනයක් බවත්, එය ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කරන, ආදායම් උපදවන ව්‍යාපෘති පමණක් වන බවත් හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

මහින්ද පාලනය තුළ උගස් කරනු ලැබූ මාතෘ භූමිය බේරාගැනීමේ වගකීම වත්මන් ආණ්ඩුවට පැවරී ඇති බව ඔහු පැවසීය.

ඉතාමත් කෙටිකාලීනව අධික පොලියට ණය ලබාගෙන ක‍්‍රියාත්මක කළ ප‍්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘතිවලින් රට ණය බරින් පිරී ඇති බවත්, මාතෘ භුමිය ඇපයට තබා සිදුකළ ක‍්‍රියාවලීන්ගේ අයහපත් ප‍්‍රතිඵල වත්මන් ආණ්ඩුවට දැරීමට සිදුව ඇති බවත්, අමාත්‍යවරයා කීවේය.

අද ඇතැම් අය අවුරුදු නැකැත් ගැන විවිධ අදහස් පළකරන බවත්, තෙල් ගාපු නැකත වැරදි හා එය රටට අපල බවත් ප‍්‍රකාශ කරන්නේ යැයිද හෙතෙම පැවසීය.

ඒ අයට කලින් නැකැත් සෑදු ආකාරය මතක් කරදිය යුතු බව සඳහන් කරමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, කලින් අවුරුදුවල නැකැත් හැදුවේ එක් පුද්ගලයෙකුගේ කේන්දරයට අනුව බවයි.

දැන් නැකැත් හැදෙන්නෙ රටේ කේන්දරයට හා රටේ සුභ මුහුර්තයට අනුව බවත්, එක පවුලක් හා එම පවුල වටා කැටි ගැසුණු දූෂිතයන්ගේ කේන්දරවලට රට ඉදිරියට ගියපු යුගය අවසන් බවත් අවධාරණය කර සිටියේය.

අවුරුදු 60 කට ආසන්න කාලයක් අනෝන්‍ය වශයෙන් එකිනෙක ගැටුණු පක්ෂ දෙකක් ප‍්‍රථම වතාවට පාක්ෂික ගෝත‍්‍රවාදය අවසන් කරමින්, ජාතික සමඟි ආණ්ඩුවක් පිහිටුවමින් රටේ ජනතාවට සෞභාග්‍ය ළඟාකරදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් බලලෝභී දූෂිතයන් ආණ්ඩුව පෙරළීමට කලබල කරමින් සිටින බව ද සඳහන් කළේය.

කෙසේ වුවද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවන්න ආසන 113ක් අවශ්‍ය බවත් මහින්ද දිනාගත් ආසන 43න් ආණ්ඩුවක් පිහිටුවීම විහිළුවක් බවත් අමාත්‍යවරයා පැවසීය.

කුමන්ත‍්‍රණකාරී අයුරින් මාධ්‍ය, වෙබ් අඩවි,  අයථා ලෙස උපයා ගත් ධනය භාවිත කරමින් වත්මන් ආණ්ඩුව පෙරළන්න කිසිම පුද්ගලයෙකුට ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා, අද පක්ෂ පාට භේදයකින් තොරව සෑම කෙනෙක්ම එම දූෂිත බලවේගවලට නැවත හිස එසවීමට ඉඩ නොතබමින් නැගී සිටින බවද පෙන්වාදුන්නේය.

කළුතර නගරය රටේ මහා නගරයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බවත්, මහ නගර සැළැස්මට අනුකූලව මෙම ඉදිරි වැඩසටහන් ක‍්‍රියාත්මක කර විශේෂයෙන්ම කළුතර දුම්රිය මාර්ගය සංවර්ධනය හා කළුතර නගරයට විශේෂ බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

වත්මන් ආණ්ඩුව ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ සියලුදෙනාටම විවෘතව දැනුම්දෙන බවත්, කොතැනක හෝ දූෂණයක්, වංචාවක් වන්නේ නම්, කොතැනක හෝ අනර්ථකාරී ක‍්‍රියාවලියක් වන්නේ නම්  කරුණාකර දැනුම්දීමට කටයුතු කරන ලෙසත් සඳහන් කළ අමාත්‍යවරයා යහ පාලනයේ වෙනස එය බවද වැඩි දුරටත් පෙන්වාදුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් විජේසේකර, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙණ්ඩිස් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

Comments

comments