මහින්දගේ හමුදා ආරක්‌ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්‌ෂාව අද (03) සිට සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට ලබාදී තිබූ හමුදා ආරක්‌ෂාවෙන් අඩක්‌ මීට පෙර ඉවත් කළ අතර, ඉතිරි හමුදා නිලධාරීන් ඇතුළු භට පිරිසත් අද ඉවත් කිරීමට නියෝග කර ඇති බව හමුදා මූලස්‌ථානයෙන් දැනුම් දී තිබේ.

එම නියෝගයට අනුව හිටපු ජනාධිපතිවරයාට ආරක්‌ෂාව ලබාදුන් හමුදා නිලධාරීන් ඇතුළු භට පිරිස අද සහ හෙට (4 දා) වනවිට සම්පූර්ණයෙන් ඉවත් කරනු ඇත.

ආරක්‌ෂාවට සිටි හමුදා භට පිරිසෙන් ප්‍රථම කණ්‌ඩායම මැයි මස 2 වැනිදා ඉවත් කෙරුණු අතර ඉතිරි භට පිරිස මෙයට සති කිහිපයකට පෙර ඉවත් කිරීමට නියෝග කර පසුව තාවකාලිකව අත්හිටුවන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ හමුදා ආරක්‌ෂාව ඉවත් නොකරන ලෙස පැවිදි හඬ සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පෙරේදා (1 දා) සවස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටි බව එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

කෙසේවුවද හිටපු ජනාධිපතිවරයාට කිට්ටුම ආරක්ෂාව සැපයූ ප්‍රධානියා වන කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපතිවරයාගේ ජපන් සංචාරය අවසන් වන තුරු ඔහුගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කරන බවද මේ අතර වාර්තාවේ. රාජපක්ෂ මහතා ලබන 10 වනදා ජපන් සංචාරයට දිවයිනෙන් නික්ම යාමට නියමිතය.

ශ්‍රී ලංකා මීරර්

Comments

comments