“ධනවතුන් කිසිදා දේශපාලනයට නොආ යුතුයි”

ලොව දුප්පත්ම ජනාධිපතිවරයා CNN නාලිකාව සමඟ කළ සාකච්ඡාව


අසීමිත ලෙස මුදලට ආශා කරන පුද්ගලයන් දේශපාලනයෙන් ඉවතට ඇද දැමිය යුතු බව උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකා පසුගිය බදාදා දින CNN නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේය.

“නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගනිමින් අප පැවසුවේ රටක බහුතර මතය බල පැවැත්විය යුතු බවයි” ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී පැවසීය. “එසේ නම් විය යුත්තේ රටක රාජ්‍ය නායකයා රටේ බහුතරය මෙන් ජීවත් වීම මිස රටේ සුළුතරය ලෙස ජීවත්වීම නොවේ.”

2012 වර්ෂයේ දී BBC නාලිකාව මගින් සිදු කරන ලද විශේෂ සමීක්‍ෂණයකට අනුව ලෝකයේ වඩාත්ම දුප්පත් රාජ්‍ය නායකයා ලෙස නම් කෙරුණු මුජිකා, තම මාසික වැටුපෙන් 90% ක ප්‍රමාණයක්‌ සමාජ සුබසාධනය උදෙසා ලබාදෙන නායකයකු වේ.

“රතු පලස්‌, විවිධ සංගීත භාණ්‌ඩ වාදනය කරන උත්සව” මේ සෑම දෙයක්‌ම වැඩවසම් සමාජයේ නටබුන් මිසක වෙන කිසිවක්‌ නොවේ. ඒ මුජිකාගේ අදහසයි. තමාට ධනවත් පුද්ගලයන්ට එරෙහිව කිසිදු පෞද්ගලික අමනාපයක්‌ නැති බව පවසන ජනාධිපති මුජිකා තම අදහස්‌වලට හේතුව ලෙස දක්‌වන්නේ ධනවතුන් නොවන බහුතරයකගේ අභිලාෂයන් ඉදිරිපත් කිරීමේ කාර්යය ඉටු කිරීමට ධනවතුන් සමත් නොවන බවයි.

“ධනයට ආශා කරන ධනය කෙරෙහි පිස්‌සු වැටුණු මිනිසුන්ට එරෙහිව යන්නට, මට කිසිදු අවශ්‍යතාවක්‌ නැහැ” මුජිකා පැවසීය. නමුත් දේශපාලනයේ දී අප ඔවුන්ව වෙන්කළ යුතුයි. දේශපාලනය තුළ පවා මුදලේ වටිනාකම සොයන මිනිසුන් දේශපාලන ප්‍රවාහය තුළ භයානක මිනිසුන් බවට පත්වනවා. මුදලට ලැදි මිනිසුන් කළ යුත්තේ වාණිජ කර්මාන්ත සහ තම ධනය වැඩිදියුණු වන මාර්ගවලට අවධානය යොමු කිරීමයි. නමුත් දේශපාලනය යනු සෑම දෙනාගේම සතුට වෙනුවෙන් සටන් වැදීමකි. ධනවත් පුද්ගලයන් දුප්පත් ජනතාව නියෝජනය කිරීමට නුසුදුසු වීමට හේතු විමසූ විට මුජිකා පැවසුවේ “ධනවතුන් ලෝකය දෙස බලන්නේ ඔවුන්ගේ දෘෂ්ටියෙනි. ඒ අන් කවරක්‌ නිසා නොව මුදල් ඉපැයීම ඔවුන්ගේ අරමුණ බැවිනි. යහපත් ෙච්තනාවකින් යුතුව කටයුතු කළත් ලෝකය පිළිබඳව ජීවිතය පිළිබඳව ඔවුන්ගේ තීන්දු හා තීරණ සියල්ල පදනම් වන්නේ මුදල් මතයි. බහුතරය විසින් පාලන කටයුතු කළ යුතු සමාජයක අපට ජීවත් වීමට සිදුවුවත් අප විසින් හැම විටම කළ යුත්තේ අපගේ දෘෂ්ටිකෝණයෙන් ඒ බහුතරය මත පදනම් කර ගැනීම මිස සුළුතරය මත පදනම් කර ගැනීම නොවේ”

ධනවත්කමේ සලකුණු නිරන්තරයෙන් ප්‍රතික්‌ෂේප කරන පුද්ගලයෙක්‌ ලෙසට උරුගුවේ ජනාධිපති ප්‍රසිද්ධියක්‌ උසුලයි. පසුගිය මැයි මාසයේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ටයි පටි පැළඳීමට එරෙහිව පවා ඉතා උපහාසාත්මකව අදහස්‌ පළ කරන ලදී.

“ටයි පටියක්‌ යනු බෙල්ල සිර කරන කිසිම වැදගම්මකට නැති රෙදි පටියක්‌ පමණයි” සාකච්ඡාව අතරතුරදී මුජිකා පැවසීය. “මම පරිභෝජනවාදයේ හතුරෙක්‌. එහි විරුද්ධවාදියෙක්‌. ඉවක්‌ බවක්‌ නැති පරිභෝජනවාදය නිසා අපි ඉතා මූලික කරුණු අමතක කර දමනවා. අපි මනුෂ්‍ය ශක්‌තිය නාස්‌ති කර දමන්නේ මනුෂ්‍ය සන්තුෂ්ටිය සමඟ කිසිම සම්බන්ධයක්‌ නොමැති මේ විහිළු වැඩවලටයි…”

උරුගුවේ රාජ්‍යයේ අගනුවර වන මොන්ටිවීඩියෝ නගරයට ආසන්න කුඩා ගොවිපළක තම බිරිඳ වන ඉසියා ටොපොලන්ස්‌කි සහ මනුවෙලා නමැති සුනඛ සුරතලා සමඟ මුජිකා දැනට වාසය කරයි. තමා භෞතිකවාදය එකහෙළා ප්‍රතික්‌ෂේප කරනා බව පවසන ඔහු කියා සිටින්නේ තමාට ගෙදර දොර කටයුතු කිරීම හෝ සුළු වශයෙන් මල් වගාව කිරීම වැනි සන්තුෂ්ටිදායක වැඩක නිරතවීමට ඇති කාලය ඉන් සොරා ගන්නා බවයි.

“මට ඇත්තේ ජනාධිපතිවරයකුට ඇති අදහස්‌ නෙවේ” ඔහු පවසයි. “ඒවා මඳක්‌ තැලී පොඩිවී ගොස්‌ රළු වී තිබෙනවා”

|ඉමේෂා මධුභානි

Comments

comments