ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් බලය ට ඒම ගැන වග කිව යුත්තේ කවුද? – ඇන්ටන් එම්. ප්‍රනාන්දු

මගේ මිතුරන් බොහොමයක් උසස් අධ්‍යාපනය හදාරා ඇති හෝ හදාරමින් සිටින අය ය. මගේ මිතුරන් බොහෝ විට මට කියන්නේ දේශපාලනය කතා කිරීමෙන් ඵලක් නොවන බව ත් ඉන් කළ හැකි දෙයක් නැති බවත් ය. සමහර අය කියන්නේ ෆේස් බුක් එකේ දේශපාලනය කරනවා ට වඩා තමන් ගේ වැඩක් බලා ගෙන සිටින ලෙසයි.
මේ ගැන වැඩිදුර සිතා බැලූ විට එසේ කීමට හේතු කීපයක් අඳුනාගත හැක. පළමු හේතුව නම් දේශපාලනය යනු ඉතා ම සංවේදී මාතෘකාවක් වීම යි. සමහරවිට එවන් සාකච්ඡාවල උච්චතම අවස්තාවලදී සිත් රිදීම් සිදු වේ. එසේ වන්නේ තම මතය ගැන අනුරාගී වීමෙන් අනෙකා ගේ මතය කෙරෙහි දක්වන නොරිස්සනසුරු ස්වරූපයයි. එය වලක්වා ගැනීමට බොහෝ විට සන්සුන් සංවාදකයන් සංවාදයෙන් වැළකී සිටී. ඊට හේතුව ලෙස මම දකින්නේ ඔවුන් විශ්වාස කරන දේශපාලන දෘෂ්ටිවාදය ඔවුන් ගේ “identity” එක නියෝජනය කිරීමයි. එනම් ඔබ දේශපාලන දෘෂ්ටියකින් සිටින අය(මාක්ස්වාදී, දක්ෂිනාංශික,ලිබරල් වැනි) සමඟ දේශපාලන සංවාදයක් ආරම්භ කළ විට ඔවුන් සිතන්නේ ඔවුන් විශ්වාස කරන එම දෘෂ්ටිවාදය ඔවුන් ගේ බුද්ධිමත්භාවය පිළිබිඹු කරන සාධකයක් බවයි. එය විවේචනය කළ විට ඔවුන් හිත් අමනාපකම් ඇති කරගන්නේ එබැවිනි.
දෙවැනි කරුණ නම් සමහර පිරිස් දේශපාලනය ගැන ස්වභාවයෙන්ම උනන්දුවක් නොමැති වීමයි. සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයන් ගේ මතය දේශපාලනය යනු විහිළුවක් බවත් ඉන් ඔවුන් ගේ ජීවිතය ට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ය. මා දේශපාලනය ගැන කතා කරන විට මට උසුළු විසුළු කරන අයගෙන් බහුතරයක් අයත් වන්නේ මේ පිරිස ටය.
තුන්වැනි කරුණ නම් යම් පිරිස් තම මතය ජනප්‍රිය මතයක් නොවීම නිසා එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ට අකමැති වීමය. මෙයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ප්‍රධාන දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන පිරිස් ය. ඔවුන් කරන්නේ ජනප්‍රිය නොවන මතවාද මුග්ධ මතවාද ලෙස ලේබල් කිරීමෙන් ඒවා අවඥාවෙන් බැහැර කිරීමයි. මෙවර ඇමරිකානු මැතිවරණයේ තීරණාත්මක ලෙස වෙනස් වීමට බලපෑ ප්‍රධාන හේතුව මෙවැනි පිරිස් වල ප්‍රමාණය වැඩි වීමයි.
මගේ තක්සේරුව මෙවර ඇමරිකානු දේශපාලනය තීරණාත්මක ලෙස වෙනස් වන්නේ මම අවසානයේ සඳහන් කළ ප්‍රධාන කණ්ඩායම් දෙක නිසා කියා ය.
මෙවර ඇමරිකානු මැතිවරණයේ වලංගු ඡන්ද දායකයින් ගෙන් ඡන්දය භාවිතා කර නැති ප්‍රතිශතය 45% කට ආසන්න ය. මෙම ප්‍රතිශතයෙන් වැඩි ප්‍රමාණයක් සමන්විත වන්නේ දේශපාලනයෙන් කිසිවක් වෙනස් නොවන්නේ යයි සිතන ඡන්ද දායකයින් ගෙන් ය. මගේ මතය මෙම ඡන්ද දායකයින් සිටින්නේ ජයග්‍රහණය කරන ලද තරඟකරුවා ගේ පාර්ශවයේ බවයි. එනම් මෙම 45% ක ප්‍රතිශතය ඡන්දය නිල නොවන වශයෙන් භාවිතා කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට ය.
අනෙක් කණ්ඩායම සමන්විත වන්නේ සාමාන්‍යයෙන් තමන් විශ්වාස කරන දෘෂ්ටිවාදයේ සංගතභාවය ගැන පරීක්ෂා කිරීමට අකමැති ගොඩට ය. කළින් සඳහන් කළ ආකාරයට මෙම කණ්ඩායම ප්‍රමාණයෙන් වැඩි වීමට ප්‍රධාන හේතුව ලෙස මම දකින්නේ “දේශපාලන නිවැරදිභාවය(political correctness)”නිසා තම මතයේ නිවැරදිභාවය උරගා බැලීමට උනන්දු නොවූ පිරිස් ය. මෙම කොටසේ ප්‍රතිශතය දැන ගැනීමට නම් අන්තර්ජාල ඡන්ද විමසීම්වල ප්‍රථිපලය සහ ජනාධිපති මැතිවරණය අතර ලැබූ ඡන්ද වල වෙනස ගණනය කළ යුතුය. මගේ තක්සේරුව මෙම ප්‍රතිශතය ඉතා විශාල නොවූවත් එහි ඉතා සැලකිය යුතු පිරිසක්(5-10%) සිටින බවයි.
ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය විශේෂයෙන් ම ඡන්දය භාවිතා නොකරන ලද සහ “අධිපති” දේශපාලන මතවාද නියෝජනය කරන නිසා අනෙක් මත අවඥාවට ලක් කළ පිරිස ට ලැබුණු ලොකුම අනතුරු ඇඟවීම කි. ඡන්දය භාවිත නොකරන ලද,දේශපාලනය ගැන අවඥාවෙන් කතා කරන අයට සහ අනෙක් මත අවඥාවෙන් බැහැර කළ අයට පමණක් නොව සියලු දෙනාට දැන් ඒ නිසා වන්දි ගෙවීම ට සිදු වී ඇත. ඒවා අතර ලෝකයේ සහ රටේ පැවැත්මට දරුණු ලෙස බලපාන සාධක කිහිපයක් වේ. පරිසර දූෂණය නිසා ලෝකයේ සිදු වන දේශගුණ වෙනස් වීම් වලට ලෝක මට්ටමින් ගත් පියවරවල් නතර කිරීමට සිදු වීම (Paris Agreement), මැද පෙරදිග යුධමය තත්ත්වය වර්ධනය වීම, සංක්‍රමණික නීති වෙනස් වීම, ලතින් ඇමරිකාව සමඟ ඇති වෙළඳ ගිවිසුම් අත් හිටුවීම නිසා බඩු මිල ඉහල යාම, ජාතිවාදය වර්ධනය වීම,සෞඛ්‍යය පහසුකම් වලට ගෙවන මිල වෙළඳපොල මත තීරණය වීම ඉන් ප්‍රධාන වේ.
මගේ අදහස මෙම මැතිවරණයෙන් වත් අප පාඩමක් ඉගෙන ගත යුතු බවයි. දේශපාලනය ගැන වැඩි වැඩියෙන් උනන්දු වීම, ඒ ගැන සංවාද කිරීම, අනෙක් අයගේ මත වලට ගරු කිරීම වැනි දේවල් ගැන අප අවධානය යොමු කළ යුතුය. කෙසේ නමුත් තවමත් එහි ඇති වැදගත්කම නොතේරෙන්නේ නම් තමන් ගේ මූලික අයිතීන් පවා බලය ඇති අය උදුරා ගත්තත් ඒ ගැන පැමිණිලි කිරීමේ අයිතිය ද ඔබ විසින් ම අහිමි කරගන්නා බව ද මීට වගකිව යුත්තෝ මතක තබා ගත යුතු ය.

ඔහුගේ බ්ලොග් අඩවියට පහතින් පිවිසෙන්න

Comments

comments