ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ – විග්නේෂ්වරන්ගේ යෝජනාවක් සම්මතයි

යුද අපරාධ ගැන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ පරීක්ෂණයක් කළ යුතු යැයි සඳහන් කරමින් උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී විග්නේෂ්වරන් මහතා ගෙන එන ලද යෝජනාවක් එම පළාත් සභාවේදී අද සම්මත වී තිබේ.

මෙම යෝජනාව ගැන අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ විපක්ෂනායක සී. තවරාසා පවසා ඇත්තේ මෙයට අපි විරෝධය පළ නොකරන බවයි.

විග්නේෂ්වරන්ගේ එම යෝජනාවට සහය නොදෙන නමුත් එයට විරුද්ධ නැති බව තවරාසා පැවසූ බව අප වාර්තාකරු කීවේය.

මේ අතර උතුරේ මහඇමතිවරයා විසින් අද ඉදිරිපත් කළ යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට යවන බව පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් පවසා ඇත.

කෙසේ වුවද මෙරට සිදුවූවා යැයි කියන යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට නොව දේශීය පරීක්ෂණයකට සහය පළ කරමින් මානව  හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන එන බව පසුගියදා මෙරටට පැමිණි දකුණු ආසියාතික කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් පවසා තිබුණි.

මේ අතර යුද්ධය පැවැති සමයේ ඇති වූ බව කියන සිද්ධින් සම්බන්ධයෙන් දේශිය පරීක්ෂණයක් සිදු කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ කිහිපයක් විරෝධතාව පළ කර ඇත.

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා පවසන්නේ ප්ලොට්, ටෙලෝ සහ  ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව එවැනි දේශීය පරීක්ෂණයක් සඳහා විරෝධතාව පළ කිරීමට තීරණය කළ බවයි.

දෙමළ ජනතාවට දේශිය පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසයක් නොමැති බව පෙන්වාදෙන ශිවාජිලිංගම් මහතා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හා ජාත්‍යන්තර රාජ්‍යන් මැදිහත්වී අදාළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ප්‍රකාශ කළේය.

දේශීය පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන්  ඉලංකෙයි තමිල් අරසු කච්චි සිය ස්ථාවරය මෙතෙක් සාමාජික පක්ෂවලට ලබා දී නොමැති බව ශිවාජිලිංගම් මහතා පැවසුවේය.

Comments

comments