ඔබ දන්නවාද හෙමිංග්වේ ලියන්නේ සිටගෙන බව?

නොබෙල් සාහිත්‍ය සම්මානලාභී ලේඛක අර්නස්ට් හෙමිංග්වේ ජීවත්වූ හවානා නගරයට ආසන්න උපනාගරික ප්‍රදේශයක් වූ සැන් ෆ්‍රැන්සිස්සේස් පෝලාහි පිහිටි ඔහුගේ නිවසේ ලේඛන කටයුතුවල යෙදීමට වෙනමම කාමරයක් විය. එය නිවසේ එක් කොනකට වන්නට තරමක් උසින් පිහිටි කුලුනක් බඳු විශේෂිත ස්ථානයකි. එහෙත් හෙමිංග්වේ වඩාත් ප්‍රිය කළේ නිදන කාමරයේ සිට ලේඛන කටයුතුවල යෙදීමට ය. ඔහු කුලුනට නඟින්නේ තමන් ලියමින් සිටින කතාවේ ‘චරිත’ එසේ ඉල්ලමින් ඔහු එදෙසට එලවුවහොත් පමණි.

නිදන කාමරය බිම් මහලේ පිහිටි අතර නිවසේ ප්‍රධාන කාමරය හා සම්බන්ධ විය. කාමර දෙක අතර පිහිටි දොර බොහෝ විට අඩවල්ව පැවැතිණි. එය අරින වහන අවස්ථාවල පිටවූ හඬ ගුවන් යානයක එංජිමකින් නිකුත්වන හඬට සමානය.

හෙමිංග්වේගේ නිදන කාමරය විශාල ය. එහි ජනේල නැ‍ඟෙනහිරට පිහිටා තිබීම නිසා හොඳින් ආලෝකය ලැබිණි. බිත්ති සුදු පැහැ වීම සහ කහ පැහැ ටයිල් ගෙබිම ද කාමරය ආලෝකවත් ව තැබීමට හේතු විය. මේ කාමරය කුඩා කුටීර දෙකකට වෙන්විණි. එක් පසෙක ද්විත්ව නිදන ඇඳ ද අනෙක් පස පපුව මට්ටම තෙක් උස්වූ පොත් රාක්ක 2 ක් ද විය. කාමරයේ තවත් පසෙක බිම ගොඩ ගැසූ පොත් තොගයක් ද තිබිණි.

හෙමිංග්වේ ලේඛන කටයුතු සඳහා භාවිත කළ මේසය මත ද පොත් සහ පත්තර ගොඩගැසී පැවැතියේ ය. ටයිප් රයිටරය තබා තිබුණේ පොත් රාක්කයේ ය. එය ඔහුගේ පපුව මට්ටම තරම් උසකින් පිහිටියේ සිටගෙන යතුරු ලියනය කිරීම හෙමිංග්වේ පුරුද්දක් වූ බැවිනි. ඔහු සැමවිට ම ලිවීම ආරම්භ කළේ පැන්සලෙනි. පැන්සල් 5 -6 ක් ම ලියන මේසය මත විය. ඒ අසල බිත්තියේ සවිකළ කාඩ් බෝඩ් පුවරුවකි. දිනපතා යතුරු ලියනය කරන වචන සංඛ්‍යාව එහි සටහන් කිරීම ඔහුගේ පුරුද්දක් විය. ඇතැම් දිනවල එය වචන 450ක් පමණ වූ අතර තවත් දිනක එය වචන 1250ක් පමණ විය. වචන 500 ඉක්මවීමට හැකි විණි නම් ඔහු තෘප්තිමත් විණි. වැඩි වැඩ කොටසක් කිරීමට හැකි වූයේ නම් පසු දිනය සැහැල්ලුවෙන් ගත කිරීමට ඔහු පුරුදු වී සිටියේ ය.

ඉඩකඩ ඇතිව ලේඛනයේ යෙදීමට හැකි ඒ වෙනුවෙන් ම වෙන්වූ ලියන මේසයක් ඊට වෙන් වූ කාමරයේ තිබුණ ද හෙමිං‍ග්වේ පුරුද්දක් වශයෙන් ම එය භාවිත කළේ නැත. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ නොයෙක් නොයෙක් දෑ ගොඩගැසී තිබ‍ූ ඉඩ කඩ ඇසුරුණු මේසයකි. මේ ලියන මේසය මත සෙල්ලම් සිංහයෙක් සිටියේ ය. ඝන රෙද්දෙන් කළ බෑගයක් ද ඒ මත තිබිණි. ඒ තුළ මාංස භක්ෂක සත්ත්ව දත් තොගයක් ද විය. සිංහයකුගේ, රයිනෝසිරසයකුගේ හා සීබ්‍රාවුන් දෙදෙනකුගේ ලී කැටයමක් ද එහි දැකගත හැකි විය. නවකතා, ඉතිහාස කතා, කෙටිකතා, නාට්‍ය, කාව්‍ය ආදී ග්‍රන්ථ රැසක් ද මේසය මත ගොඩගසා තිබිණි. ලියන කාමරය බවට ද පත්වූ නිදන කාමරය දෙස එක් වරම බලන අයකුට එහි අපිළිවෙළ හොඳින් ම දිස් විය. මේ කාමරයේ අයිතිකාරයා කිසිම දෙයක් වීසි කරන්නට අකමැති වූ අයකු බව, විශේෂයෙන් යම් භාවාත්මක හා කලාත්මක වටිනාකමක් තිබූ දෙයක් නම් කිසිසේත් බැහැර නො කළ බව අවබෝධ කරගත හැකි විණි. පොත් රාක්ක මත විවිධ සිහිවටන අසුරා තිබිණි. දැව සහ වානේවලින් කළ සත්ත්ව රූප, වාහන ආකෘති, ගිටාරයක කුඩා ආකෘතියක් සහ අ‍ැමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානයක ආකෘතියක් ඒ අතර කැපී පෙනුණි. ඒ හැරුණු විට මීහරක් අං 3 ක් ද එහි විය.

හෙමිංග්වේ යනු මිථ්‍යා විශ්වාසවල එල්බ සිටින්නෙක් යැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ තිබුණ ද ඔහු ඒ ගැන කතා කළේ නැත. ලේඛනයේ යෙදීමේදී ද ඔහු කටයුතු කළේ මෙවැනි ම ආකල්පයකින් විය හැකි ය. මේ ශෛලිය නිසා ඔහු විස්මයජනක කතා කියන්නකු වූයේ ය. ඔහු‍ෙග් කතා හාස්‍යයෙන් ද පිරී තිබිණි. තමන් තෝරාගත්, ප්‍රිය කළ තේමාවන්ට ඔහු ගැඹුරු ලෙස ආවේශ විය‍. කතාවක් ලියන්නට අතරමඟදී ඒ ගැන විස්තර කතා කිරීම ඔහු ප්‍රිය නොකළේ ය. හෙමිංග්වේ දැඩිව විශ්වාස කළේ ලිවීම පෞද්ගලික කාර්යයක් බව ය. හුදෙකලාව එහි යෙදීමට ඔහු ප්‍රිය කළේ ය. කාර්යය අවසන් වනතුරු සාක්ෂිකරුවන් අනවශ්‍ය බව ඔහුගේ මතයයි.

හෙමිංග්වේ ලේඛන කටයුතු සඳහා භාවිත කළ මේසය මත ද පොත් සහ පත්තර ගොඩගැසී පැවැතියේ ය. ටයිප් රයිටරය තබා තිබුණේ පොත් රාක්කයේ ය. එය ඔහුගේ පපුව මට්ටම තරම් උස­කින් පිහිටියේ සිටගෙන යතුරු ලියනය කිරීම හෙමිංග්වේ පුරුද්දක් වූ බැවිනි. ඔහු සැමවිට ම ලිවීම ආරම්භ කළේ පැන්සලෙනි.

හෙමිංග්වේ යනු නිසැකවම ජීවිතය විඳීමට සමත් වූ ලේඛකයෙකි. තමන් කළ ඕනෑම කාර්යයක් එ්කාකාර කැප වීමකින් නිමා කිරීමට ඔහු සමත් විය. ලේඛනයේ දී ඔහු ප්‍රකට කළ තවත් පුරුද්දක් වූයේ හිමිදිරියේම ලිවීම ඇරැඹීම ය. ලිවීම සඳහා ඔහු වඩාත් ප්‍රිය කළ කාල‍ වේලාව හිමිදිරි උදෑසන ය. උදෑසන පටන් ගන්නා ලිවීම දින කාලය වනතුරු ම සිදු විය. හිමිදිරි උදයේ කිසිවකුගෙන් හෝ බාධාවන් සිදුනොවීම ද මේ වේලා‍ව තෝරාගැනීමට හේතුවකි. පරිසරයේ හාත්පස සිසිල් බව අගනා නිර්මාණයක් කිරීමට සුදුසු වූ බව හෙමිංග්වේ පෙන්නුම් කළේ ය. ඔහු ලිවීම ඇරැඹූ පසු එය නතර කළේ එතැනින් ඔබ්බට කතාව ගොඩනැඟී ඇත්නම් පමණි. එවිට නතර කළ තැන් පටන් නැවත එක දිගට ලියාගෙන යාමට හැකි බව ඔහු දැන සිටියේ ය. ලිවීම නතර කළ පසු පිහිනුම් තටාකයට ගොස් මීටර් 500 ක් පමණ පිහිනීමට ඔහු ප්‍රිය කළේය.

හෙමිංග්වේ ලිවීම ආරම්භ කළේ විදෙස් වාර්තාකරුවකු ලෙස කටයුතු කරද්දීය. නිතරම ඔහුගේ ‍සාක්කුවේ කුඩා සටහන් පොතක් හා පැන්සලක් තිබිණි. කැ‍ෆේ වල සිට ලිවීමට ද ඔහු ප්‍රිය කළේ ය. ‘ද සන් ඕල්සෝ රයිසස්’ එලෙස ලියැවුණු නවකතාවකි.

පළමුව පැන්සලෙන් ලියන දේ යතුරු ලියනය කළේ ද ඔහුම ය. යතුරුලියනය කිරීම ඇරැඹූ විට පැය ගණනාවක් එහි යෙදීම ඔහුගේ සිරිතකි. ඔහුට යතුරු ලියන කිහිපයක් ම තිබිණි. විශේෂය වන්නේ සිටගෙන ම යතුරු ලියනයේ යෙදීම ය.

Comments

comments