එදා ඉදිකරලා හොරකම් කළා – මෙදා විකුණලා හොරකම් කරනවා

පසුගිය ආණ්ඩුව ඉදිකිරීම් මගින් හොරකම් කළ බවත්,මේ ආණ්ඩුව විකිණීම් මගින් හොරකම් කරන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හම්බන්තොට වරාය ගනුදෙනුව ඒ ආකාරයේ ඉතාම දූෂිත ගනුදෙනුවක් බව දිසානායක මහතා කියා සිටියේ (03)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

වංචා දූෂණවලට හවුල් වූ දූෂිතයින්ට දඬුවම් දීම මේ ආණ්ඩුවේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණා. නමුත් දූෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට, හොරකම් කළ දේපොළ නැවත පවරා ගන්නවා වෙනුවට මේ ආණ්ඩුව දූෂිතයින්ගේ රැකවලූන් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම වංචාවට-දූෂණයට හවුල් වෙමින් තිබෙනවා. දූෂිතයින්ට දඬුවම් ලබාදීම, දූෂණය නතර කිරීම කෙරෙහි බලාපොරොත්තු තැබූ ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා අවසන් කළ කාල පරිච්ඡේදයක් බවට පසුගිය වසර දෙක පත්වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ සිදුවූ බරපතළ ඝාතනයන් පිළිබඳ සාකච්ඡාවට ලක්වුණා. තාජුඞීන් ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, රතුපස්වල ඝාතන, වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන පිළිබඳව පරීක්‍ෂණ දියත්කොට අපරාධකාරයින් නීතිය හමුවට ගෙනෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් මේ ආණ්ඩුව එම ඝාතන පිළිබඳව ප‍්‍රවෘත්ති නිර්මාණය කළා මිස ක‍්‍රමවත්ව පරීක්‍ෂණ සිදුකළේ නැහැ. ඒ වෙනුවට ඝාතකයින් ආරක්‍ෂා කරන තත්ත්වයකට පත්වුණා. ඝාතකයින්ගේ ඝාතන කාලයේ වැලි තලාවෙන් යටපත් කර දැමීමට මේ ආණ්ඩුව කටයුතු කළා.

ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ප‍්‍රාදේශීය වශයෙන් මතුවන ගැටලූවලට පවා විසඳුමක් ලබාදීමට අසමත් වී තිබෙනවා. උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය පිළිබඳව පරිසරවේදීන් ඇතුළු විද්වතුන් විශාල ප‍්‍රමාණයක් කරුණු පෙන්වා දුන්නා. එසේ තිබියදී ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වපු මේ ආණ්ඩුව එව ගැටලූව ඔහේ ඇදී යාමට ඉඩ දුන්නා. ඒ හේතුවෙන් මේ වනවිට විශාල පාරිසරික හානි ඇතිවෙලා තිබෙන අතර එම ප‍්‍රදේශවල ජනතාවට ජීවත් වීමට පවා බැරි තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. එවැනි ප‍්‍රශ්නයකට පවා විසඳුමක් ලබාදීමට මේ ආණ්ඩුව අසමත් වී තිබෙනවා.

ඒ වගේම මේ වනවිට සහල් වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම නිසා අර්බුදයක් මතුවෙලා තිබෙනවා. නියඟයක් පවතින බව සැබෑවක්. නමුත් වර්තමානයේ සහල් මිල ඉහළ යාමට බලපා තිබෙන්නේ දැන් ඇතිවෙලා තිබෙන නියඟය නොවේ. මෙම නියඟයේ බලපෑම ඇතිවන්නේ මාර්තු අපේ‍්‍රල් වනවිට. මේ කාලයේ බලපෑමක් ඇතිවන්නේ පසුගිය මහ කන්නයේ, යල කන්නයේ ලබාගත් අස්වැන්නට අනුවයි. නමුත් එම කාලය තුළ නියඟයක් හෝ වෙනත් ආපදාවක් ඇතිවුණේ නැහැ. පසුගිය කාලය මුදල්  ඇමති රවී කරුණානායක කිව්වා, වී වගාව අත්හරින්න කියලා. කෘෂිකර්ම ඇමති මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කිව්වා අස්වැන්න වැඩියි, ඒ නිසා කුඹුරු අක්කර ලක්‍ෂයක් වගාවෙන් ඉවත් කරන්න අවශ්‍යයි කියලා. මේ ආකාරයට ආණ්ඩුව සහල් නිෂ්පාදනය වැඩි කිරීමට අවධානය යොමුකරනවා වෙනුවට එය කඩා දැමීමට කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි වී  අස්වැන්න සත්ව ආහාරවලට, බියර් නිෂ්පාදනයට යොමු කළා. ඒ තත්වය හමුවේ දැන් සහල් පාරිභෝගිකයින්, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එම අර්බුදය හමුවේ වී අලෙවි මණ්ඩලය අර්බුදය සමනය කිරීමට කටයුතු කරනවා වෙනුවට කොමිස් ලබාගැනීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග අතරමැදියන්ට විකුණා දමමින් තිබෙනවා. එම ගැටළුවලට උත්තරයක් ලබාදෙන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.

මේ ආණ්ඩුවේ මූලික ආර්ථික ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා තිබෙන්නේ බදු ගැසීම, සහනාධාර හා සේවා කප්පාදු කිරීමයි. පසුගිය කාලයේ සම්මත කර ගන්නා ලද පනත්, ගැසට්, ඒ වගේම කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීන්දු, තීරණ උපායමාර්ග පෙළ ගැසී තිබෙන්නේ. රාජ්‍ය සම්පත් විකිණීම හා ජනතාවට ලබාදෙන සහනාධාර හා සේවා කප්පාදු කිරීමේ දිශාවටයි. පසුගිය අයවැයෙන් සම්මත කරගත් නව බදු බොහොමයක් ජනවාරි 01දා සිට කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම අයවැයෙන් ගෙනඑන ලද යෝජනා ගැසට්පත් මගින් ඉදිරි මාස තුන ඇතුළත කියාවට නගනවා. ඒ අනුව මෙම කාර්තුව තුළ ආණ්ඩුවේ නව බදුවලින් ජනතාව පීඩාවට පත්වෙනවා.
අධ්‍යාපනය වරප‍්‍රසාද ලබන අයට පමණක් සීමා කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.

මේ ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව විකිණීමේ කි‍්‍රයාමාර්ග ආරම්භ කොට තිබෙනවා. ආණ්ඩුව මේ විකුණන්න හදන්නේ මහජනතාවගේ දේපොළයි. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ණය ලබාගත්තා. ඒ ණය ගෙවිය යුත්තේ මහජනතාවයි. ඒ වගේම වරාය ඉදිකොට තිබෙන්නේ මහජනතාවට අයිති භූමියකයි. ඒ නිසා වරාය ජනතාවගේ සම්පතක්. එය විකුණා දැමීමට ආණ්ඩුවට අයිතියක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, වරාය විකිණීම සඳහා ගහන ගිවිසුම් රටට ඉදිරිපත් කරන්න කියලා. මෙම වරාය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 1350ක ණයක් ගත්තා. නමුත් වරාය ඇමති අර්ජුන රණතුංග කියනවා මේ වරාය ඉදිකිරීම සඳහා යොදවා තිබෙන්නේ ඩොලර් මිලියන 750ක් පමණක් බවත් ඩොලර් මිලියන 600ක් මේ සඳහා වැයකර නැති බවත්. නමුත් දැන් වරාය විකිණීම සඳහා තක්සේරු කොට තිබෙන්නේ ඩොලර් 1300කටයි. එයින්  80%ක් චීන සමාගමට 99 වසරකට පවරනවා. එතැන ප‍්‍රශ්නය තිබෙන්නේ එම තක්සේරුව අදාළ වන්නේ වරායට පමණක් වීමයි. වරාය ඉදිකොට තිබෙන අක්කර 400ට අමතරව ඒ අවට අක්කර 1200ක් සමාගමට පවරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. එපමණක් නොවේ. වරායේ සිදුවන සියලූම සේවා, සියලූ ගනුදෙනු සමාගමට පවරනවා. වසර 15ක් යන තෙක් අදාළ සමාගම කිසිදු බද්දක් ආණ්ඩුවට ගෙවිය යුතු නැහැ. ඒ වගේම ආණ්ඩුවට අයිතිවන 20% ප‍්‍රමාණයට වසර 15ක් යනතෙක් ලාභාංශ ගෙවන්නේ නැහැ. ඒ නිසා මෙය ඉතාම දූෂිත ගනුදෙනුවක්. පසුගිය ආණ්ඩුව ඉදිකිරීම් කටයුතුවලදී හොරකම් කළා. මේ ආණ්ඩුව ජනතාවගේ සම්පත් විකිණීමේදී හොරකම් කරනවා.

Comments

comments