ඇතැම් මූල්‍ය සමාගම් උතුරේ වැසියන් කබලෙන් ලිපට දාලා

යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී ඇතැම් මූල්‍ය සමාගම් උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නිවෙස්වලටම පැමිණ එම ජනතාව මුලාකර ඇති බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මූල්‍ය සමාගම් ගෙන්ගෙට ගොස් අධික පොලියට ණය ලබා දෙන බවයි.

එම ණය සහ පොලි වාරික ගෙවා ගැනීමට නොහැකි වීමෙන් පවුල් රැසක් දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මූල්‍ය සමාගමකින් ලබාගත් ණය මුදලක් වෙනුවෙන් වාරිකය ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක අවුරුදු දෙක හමාරක් වයසැති සිය දරුවා සමග ළිඳකට පැන ඊයේ සිය දිවි හානි කරගෙන තිබුණි.

ස්වාමිපුරුෂයා විසින් ලබාගෙන තිබූ එම ණය මුදල වෙනුවෙන් වාරිකය ගෙවීම පසුගිය 31 වනදා වන විට සිදු කළ යුතු වුවද ඔවුන්ට  එය ගෙවා ගත නොහැකි වී ඇති බව අනාවරණය වී ඇත.

ඒ පිළිබඳ ස්වාමිපුරුෂයා සහ බිරිඳ අතර බහින්බස්වීමක් ද සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

පසුව අදාළ කාන්තාව දරුවා සමග සියදිවි නසාගෙන තිබේ.

Comments

comments