අඩි 200ක් දිග මුහුදු නාගයාගේ ඉතිහාස සාක්ෂි

මීට වසර කෝටි ගණනකට පෙරාතුව මේ මහා පෘථිවි තලයේ ජීවත්වූ අරුම පුදුම ශරීර වලින් සමන්විත වූ සත්ව කොට්ඨාස පිළිබඳව පසුගිය කල්හි ලොව තැනින් තැන කරන ලද පුරා විද්‍යාත්මක කැණීම් වලදී හෙළිකර ගැනීමට හැකි විය. ඒ ඩයිනසෝර් යුගයේ විසූ අපූරු සත්වයින් සහ උරගයින් මෙන්ම විවිධ හැඩතල වලින් යුතු ජීවිතවල පාෂාණභූත ඇටසැකිළි සොයාගෙන ඒ පිළිබඳව සියුම් පර්යේෂණ කරද්දී වත්මන් ලොව එවන් ජීවමාන සත්වයකු ඉන්නට ඇතැයි කීම මොන තරම් විශ්මයට හේතුවක් දැයි සිතෙනු ඇත.

මීට වසර හයකෝටි තුන් ලක්ෂයකට පෙර මේ මිහිකත නිජබිම කරගෙන සිය අණසක පතුරවමින් සිටි ‘ඩයිනසෝර්’ යුගයෙන් පසු එළැඹි ක්ෂීරපායි යුගයෙන් ශේෂ වූ අති දැවැන්ත උරගයකු තව දුරටත් මහ පොළවට උරුමකම් කියමින් නිමක් නැති මහා සාගර පත්ලේ ජීවත් වෙතැයි කීවොත් එය ඔබ අප ඉමහත් සේ පුදුමයට පත්කරනු නොඅනුමානය. එහෙත් පුදුම විය යුතු නැත. එය සම්පූර්ණ සත්‍යයක් බවට ඔප්පු වී හමාරය.

දේහ විලාශයෙන් මහා ප‍්‍රාකාරයකට සමාන ශබ්දයට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි ක්ෂණයකින් මහා සාගරය දෙබෑකොට මතු වී ඇසිපිය හෙළීමකටත් පෙර අතුරුදන් වීමේ දස්කමක් ඇති මෙම විශ්මිත උරග විශේෂය පිළිබඳව ව්‍යාජත්වයෙන් තොර ඓතිහාසික සාක්ෂි සහ තොරතුරු පවා තිබීමෙන් පෙනී යන්නේ මේ අත්භූත සංසිද්ධියට අනාදිමත් අතීතයක ශ්‍රී විභූතියක් ඇති බවයි.

මනඃකල්පිත හැම කතාන්තරයකම සත්‍ය පැත්තකුත් තිබේ. ඒ සත්‍ය පැත්ත ද මහ සයුරම හෙළිකරයි. ඊට හේතුව අපි හැම දෙන සහ ගොඩබිම සත්ව ලෝකයේම නිජබිම ද එක් කලෙක මහ සයුර වීමයි. එබැවින් කලක් තිස්සේ කල්පිත වූ සිතුවිල්ලක් සේ මේ උරගයා පිළිබඳව වගතුග ද මහ සයුර විසින්ම ලොවට පෙන්වා දෙනු ලැබුවේ 16 වැනි සිය වසෙහි ස්වීඩනයේ ජීවත් වූ ‘‘ ඕලොප් මැග්නස්ට්’’ (Orlop Megnest) නම් අග‍්‍ර රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ රචිත ග‍්‍රන්ථයක් මගිනි.

ඈත දියඹේ මසුන් මරණ ධීවරයන්ගෙන් හා විවිධ නාවික සංචාරකයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව සකස් කරන ලද එම ග‍්‍රන්ථයේ විස්තර වන්නේ අති විශ්මිතවූ ‘‘අත්භූත නාග රාජයෙක්’’ පිළිබඳවය. මහ සයුර දෙබෑ කරමින් උඩට මතු වී සැණෙන් අතුරුදන් වන මෙම උරගයා පිළිබඳව එම වාර්තාවේ මෙසේ සඳහන්ය.

‘‘මේ අරුම පුදුම උරගයා මහා පවුරක් සේ අඩි 180-200 පමණ දිගය. සිරසින් පළල් වූ මහා පෙන ගොබය අඩි 20-22 පමණ පළලින් යුතුය. අති දැවැන්ත පෙන ගොබයෙන් විවර වූ මුඛයෙන් වැඩුන මීගවයින් දෙතුන් දෙනකුට එකවර ගමන් කළ හැකි තරම්ය. දෙනෙත් මහා ගිණි පුළිඟු දෙකක් මෙන් රෞද්‍රය. පිට පෙදෙස කාල වර්ණයෙන් යුතුවන අතර උදර පෙදෙස සුදු පැහැ ගනී. චීන ජනතාව විශ්වාස කරන ‘‘මකරා’’ (Dragon) මෙන් දේහ විලාශ ඇති මෙම අත්භූත උරගයාට මහ සයුර දෙබෑකර මතුවී අතුරුදහන් වීමට ගතවන කාලය තත්පරයකටත් අඩු විය හැකිය.

සාගර රළපතර මතින් අඩි 30-40ක් අහසට එසවී රුදුරු දෑස් විවර කර තියුණු උල් දත් ඇති මුඛයෙන් දිව එළියට දමා බිහිසුණු විලාශයක් මවාගන උගේ ක්ෂණික අතුරුදහන් වීම වෙනුවෙන් ගිලෙන විට සාගරයෙන් මහා හඬක් පිටවෙයි. දෙබෑවූ ජලකඳ සැණෙන් පෑහී යයි.

ඇස් අදහාගත නොහෙන විශ්මිත වූ මේ පුරාවෘතය ප‍්‍රචලිත වීමත් සමඟම එවන් තවත් අපූරු අත්දැකීමක් ලද ප‍්‍රංශ ජාතික ගවේශකයන් දෙපළක් ඡුායාරූපයක් සහිතවම තවත් වාර්තාවක් ලොවට හෙළිකරන්නට සමත් වූහ.

පැසිපික් සාගරය හරහා නාවික ගවේශණයක යෙදුණු මොවුන්ට  ඕස්ටේ‍්‍රලියාවට ආසන්න සාගර ගල්වැටියකට බරදී සිටි මේ අති දැවැන්තයා දැකීම මවිතයට හේතුවක් විය. බිය සහ ත‍්‍රාසය ද ඇති කළේය. සිරුරේ සුවිශාල කැපුම් තුවාල සහිතව ඉමහත් වේදනාවකින් සිටි අතර එය මහ සයුර හරහා ගමන්ගත් විශාල නැවක දැති රෝදයකින් සිදුවූවක් විය හැකි බවට ඔවුන් අනුමාන කරන ලදී.

දුරදක්නය නිවැරදිව සකසා බැලූ කළ ඔවුන්ට දැක ගත හැකිවූයේ මේ උරගයා ද ගොඩබිම වෙසෙන නාගයකුගේ (Cobra) ස්වභාවය ගන්නා බවයි. පළල් වූ පෙණ ගොබය, ගිණි පුළිඟු නෙත් දෙක, ලා රතුවන් මුඛය සහ තියුණු උල් සහිත දත්, කලූ සුදුවන් සිරුර ඔවුන්ට පැහැදිවම සනාථ කරගත හැකි විය. එහෙත් සිරුරෙහි අඩක් පමණ ජලයට ගිලී රළ පහරත් සමඟ ඉහළ පහළ යමින් තිබිණ. සාමාන්‍යයෙන් අඩි 80-100ත් අතර දිග ප‍්‍රමාණයකින් යුතු යයි ඔවුන් අනුමාන කළහ. මේ සුවිශාල දැවැන්තයාගේ ඡායාරූපයක් ගත හැකි වුවද එක් සැණෙකින්ම රළ පහරෙහි කිමිදී අතුරුදන් විය.

ප‍්‍රංශ ජාතික ගවේශකයින්ගේ වාර්තා සහ ඡුායාරූපත් සමගම ලොව පුරා විදුදරුවන්ගේ පර්යේෂණ ඇසට බඳුන් වූ මේ අත්භූත උරගයා පිළිබඳව සොයන්නට උත්සුක වූ බවක් පෙණින. විශේෂයෙන්ම ප‍්‍රංශ ජාතිකයින්ගේ ගවේශණ වාර්තාවන්ට අනුව පැසිපික් සාගරය ආශි‍්‍රතවම සියුම් පරීක්ෂණ සහ ‘විදු ඇස’ යොමු කරන ලද අතර බොහෝ කාරණා කාරණා ඔවුන්ට ලඟා කර ගත හැකි විය. ගැඹුරු සාගර පත්ලට යාහැකි විශේෂිත ‘සබ්මැරීන’ උපයෝගී කරගෙන පැසිපික් සාගරයේ ‘මරියානා’ ආගාධයට සමීප කිලෝමීටර් 3ක් පමණ ගැඹුරැුති සාගර පත්ලෙහි දිගින් අඩි 200-250ක් පමණ වූ නිශ්චල උරගයකු සිටින බව දැකගත හැකි වූ අතර ඝණ අන්ධකාරය තුළින් උගේ සිරුර පුරා ආලෝක ධාරාවක් විහිදෙමින් තිබිණ. නවතා ඇති රාත‍්‍රී දුම්රියක මැදිරිවලින් නිකුත් වන ආලෝකයට සමාන වූ ආලෝකයක් එයින් නිරූපණය විය. කිසිදු කලබල ගතියක් නොපෑව ද කිසියම් අනතුරක සේයාවක් හෝ නැති නම් තමා පිළිබඳව කවුරුන් හෝ අවධානයකින් සිටින බවක් ඉවෙන් මෙන් දැනගත් නිසාදෝ ක්ෂණයකින්ම එම ආලෝකය නිවී ගිය අතර සාගර පත්ල ඉමහත් සේ කැළඹිල්ලකට ලක්විය.

මේ අතර සෝවියට් නාවික හමුදාවේ සෙබළ පිරිසක් ‘‘ඇන්ටාටික්’’ සාගරයට ඉහළින් හෙළිකොප්ටරයකින් ගමන් කරද්දී ද මේ අරුම පුදුම උරගයා දැකගෙන තිබේ. ගමන් ගත් යානය අඩි 100ක් ම පහත් කර එය නිරීක්ෂණය කරද්දී ඔවුන්ට අනුමාන කරන්නට ලැබුණේ මේ සත්වයා අඩි 50ක් පමණ දිගැති බවයි. තවත් වැඩිදුර නිරීක්ෂණය කරන්නට ඉඩ නොතබාම ඌ ජලධාරා අතර ගිලී නොපෙනී ගියේය.

ලොව වටා අපුරු පුවත් මවමින් ජනතාව මවිතයට පත්කරමින් ‘‘මුහුදු නාගයා’’ ලෙස නම් ලැබූ මේ උරගයා එක්වර විශාල පිරිසකට දැකගත හැකි වූයේ වර්ෂ 1947 දී පමණය. සංචාරකයෝ පිරිසක් පිරිවරා ‘‘ශාන්ත ක්ලේරා’’ (Sent Clayra) නෞකාව පැසිපික් සයුර හරහා ගමන් කරද්දී මේ අරුම පුදුම උරගයා ඔවුන්ට දැකගත හැකිවී තිබේ. අහම්බෙන් මෙන් එම නෞකාවේ හැපී තුවාල ලද ඌ සැනෙකින්ම මතුවී ගිලී ගියේය.

වර්ෂ 1948 දී  ඕස්ටේ‍්‍රලියාව අසළින් ගමන්ගත් නෞකාවක මගීන්ටද අසිරිමත් මුහුදු නාගයාගේ රුදුරු බව දැකගත හැකිවිය. අඩි 80ක් පමණ දිගින් යුතු යැයි විශ්වාස කළ හැකි බවට ඔවුන්ගේ නාවික වාර්තාවලින් හෙළිවෙයි. දැවැන්ත නාගයකුගේ රුවින් යුතු රුදුරු විලාශයක් ගන්නා වූ මේ උභය ජීවියාගේ ක්ෂණික අතුරුදන්වීමේ වේගය තත්පරයකටත් අඩු කාලයක් බව ඔවුන්ට පසක් කර ඇත. සයුරෙන් මතු පිටට අඩි 20-30ක් උඩට ආ මුහුදු නාගයා නැවත සයුර දෙබෑකර අන්තර්ධාන විය.

වර්ෂ 1956 දී නෝර්වේජියානු ජාතික ජීව විද්‍යාඥයින් වූ ‘‘ආචාර්ය මීඞ් වෝල්ටර්’’ සහ ‘‘නිකල්ස් ජේ. මයිකල්’’ යන දෙදෙනාට බ‍්‍රසීල මුහුදේදී මෙවන් අරුම පුදුම නාගයකු දක්නට හැකි වූ බව වාර්තා කර තිබේ. මෙයට පෙර ගවේශකයන් හා විද්‍යාඥයන් දුටු අත්භූත මුහුදු නාගයා මෙන් මෙම නාගයාද සැණෙන් අතුරුදන්වීමට අති දක්ෂයෙකි. මිනිසුන් බිය වද්දමින් හෝ මිනිසුන්ට දර්ශනය වෙමින් මහ සයුර දෙබෑකොට මතුවී රුදුරු බවින් මුව විලිස්සා අතුරුදන් වන්නේ කුමක් නිසාදැයි මේ විද්‍යාඥයෝ සැක පහළ කරති.

ආචාර්ය ‘මීඞ් වෝල්ටර්’ සහ ‘නිකල්ස් ජේ. මයිකල්’ යන විද්වතුන්ගේ මතය ගරු කළ නෝර්වේ රජය මේ වෙනුවෙන් සියුම් පර්යේෂණ කළයුතු බවට යෝජනා කළේය. ඊට තවත් ආසන්නතම හේතුව වූයේ නෝර්වේජියානු දේශ ගවේශකයකු වූ ‘ටෝහියර්’ නම් පුද්ගලයා නෝර්වේ අසළ මහ සයුරේදී දුටු අත්භූත ‘මුහුදු නාගයා’ පදනම් කරගෙනය. එහෙත් අහඹු සිදුවීමක් සේ දැක ගැනීමට හැකි වුවද පර්යේෂණයක් කරමින් මේ සත්වයා දැක ගැනීමට නොහැකිවීම අභාග්‍යයක්ම විය.

ලොව විවිධ රටවලින් විවිධ ගණයේ ‘මුහුදු නාගයා’ පිළිබඳ වාර්තා ආවත් ඒ කිසිවක් නිත්‍ය හා සුබවාදී පර්යේෂණයකින් සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත නොහැකි විය. ‘‘අවසන් වශයෙන් ජගත් විදු දරුවන් පොදු වාර්තාවක් සකසමින් මේ සත්වයා කිසිම විටෙක මිනිස් ග‍්‍රහණයට හසුනොවන දර්ශනයට ලක් වුවද සැනෙකින්ම අතුරුදන්වන, අත්භූත ජීවියෙකු යයිද, මහසයුරෙහි ‘හරස් සහ තිරස්’ අතටත් මොහොතකින් කිමිදීමට සමත්කම් දක්වන ඌට ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි බවද වාර්තා කළේය.

කාලාන්තරයක් තිස්සේ පර්යේෂණවලට පාදකවූ ඩයිනසෝර යුගයේ විසූ උභය ජීවියකු වියහැකි වුවද මනඃකල්පිත චරිතයකට හිමිකම් කී ඌ සත්‍ය පුරාවෘතයක් බවත් හෙළිකළේය. එපමණක් නොව මේ කල්පිත බව තව තවත් තිව‍්‍ර කරන්නටම මේ සත්වයාට වෙඩිතබා වුව ඝාතනය කළ නොහැක්කේ උගේ ක්ෂණික අතුරුදන් වීමේ අසීමිත ශක්තිය නිසා බවත් ජලයේ ඝණත්වයට වඩා උගේ බර ප‍්‍රමාණය අධික නිසා මරා දැමුවද ඒ මළ සිරුර මුහුදු පතුලටම කිඳා බසින බවද වාර්තා කළේය’’.

වත්මන් විදුතතු අනුව ඌ ‘මුහුදු නාගයා’ වුවද කුමන සත්ව කොට්ඨාසයකට අයත් දැයි තවම නිශ්චිත කර නැත්තේය. එහෙත්, ප‍්‍රංශ ජාතික ජීව විද්‍යාඥ ”ගියාර්ඞ්” පවසන්නේ දැනට ලැබී ඇති සත්‍ය ගවේශන තොරතුරු සහ සාක්‍ෂි මත වරින් වර මහ සයුර දෙබෑකරගෙන මතු වී අදෘෂ්‍යමාන වන මෙම සත්ව කොට්ඨාස ආදී කල්පිත යුගයට අයත් ‘‘ඉතියෝර්’’ හෝ ‘‘මිතියෝර්’’ යන උරඟ ගණයට අයත් වඳවීගෙන යන සත්ව පරපුරක් බවයි.

නාලගමුවේ උබේසේකර කුමාරසිංහ
(Lankadeepa)

Comments

comments